Microwave Oven එකක් තුළ සිදුවන ක්‍රියාවලිය

 

20 වන සියවසේ සිදුකෙරුණු ඉතා වැදගත් නිපැයුමක් තමයි Microwave Oven කියන්නේ.  මෙමගින් ඉතා ක්ෂණිකව ආහාර වර්ග පිසගන්න පුළුවන් වගේම විදුලිය අරපිරිමැස්ම අතිනුත් ඉතා ඉහළ තැනකයි ඉන්නේ. Microwave Oven එකක් තුළදී සිදුවන්නේ කුමක්ද කියලා අපි දැන් විමසා බලමු.

Microwave oven එකකින් ආහාර පිසීමේදී රත්වීම සිදුවන්නේ ක්ෂුද්‍ර තරංග (microwaves) මගින්.  ක්ෂුද්‍ර තරංග අයත් වෙන්නෙත් ගුවන් විදුලි තරංග ගනයටමයි. Microwave oven එකක භාවිතා වෙන්නේ 2.5 GHzපරාසයේ ඇති තරංග.

මෙම සංඛ්‍යාත පරාසයේ ඇති තරංගවල ලක්ෂණයක් තමයි, ඒවා ජලය, මේද සහ සීනි මගින් අවශෝෂණය කරගැනීම. මෙසේ අවශෝෂණය කරගත් තරංගවල තියෙන ශක්තිය ඒවායේ පරමාණුක චලිතය බවට පත්වෙනවා. එනම් තාප ශක්තියයි.

මෙම සංඛ්‍යාත පරාසයේ ඇති තරංග බොහොමයක් ප්ලාස්ටික්, වීදුරු හෝ සෙරමික් වර්ග මගින් අවශෝෂණය කරගන්නේ නැහැ. තවද, ලෝහ මගින් මෙම තරංග පරාවර්තනය කරනවා.  ඉතිං මේ ලක්ෂණ නිසා තමයි Microwave oven එකක් තුළදී ආහාර අඩංගු බඳුන් රත් නොවී ආහාරය පමණක් ඉතා ක්ෂණිකව රත්කරගන්න පුළුවන් වෙන්නේ. ලෝහ මෙම තරංග පරාවර්තනය කරන නිසා තමයි, ලෝහ බඳුන්වල දැමූ අහාර මෙමගින් රත්කරගන්න නොහැකි වෙන්නේ.

ඔබ අහලා ඇති Microwave oven එකක ආහාර රත්වීම සිදුවන්නේ ඇතුළත සිට පිටත දක්වා කියලා. (සාමන්‍ය oven එකක් නම් පිටත සිට ඇතුළට තාපය ගලා යා යුතුයි.) නමුත් මෙහිදී ඇත්තටම නම් තාපය ගලායාමක් සිදුවන්න අවශ්‍ය නැහැ. ආහාරය සම්පූර්ණයෙන්ම එකවර රත්වීමකට ලක්වෙනවා. තවදුරටත් විස්තර කරනවානම්, සාමාන්‍ය  oven එකක රත්වීම සිදුවන්නේ සන්නයනය මගින්. එම නිසා තාපය පිටත සිට ඇතුළතට ගලායාමක් සිදුවෙන්න අවශ්‍යයි ආහාරයේ ඇතුළත කොටස් රත්වීමට නම්. නමුත් Microwave oven  එකක නම් ක්ෂුද්‍ර තරංග, ආහාරය තුළින් ගමන් ගෙන එහි වන සංඝටක වලට උරාගෙන එහිදී තාපය බවට හැරී ආහාරය සම්පූර්ණයෙන්ම එකවිට රත්කරනවා.