සමනලවැව ජලාශයේ ජල කාන්දුවේ යාන්ත්‍රණය සොයාගෙන !!!

 

සමනලවැව විදුලි බලාගාරය ගැන ඔබ අහලා ඇති. අපේ රටේ තියෙන ප්‍රධානතම ජල විදුලි බලාගාර වලින් එකක්. මේ බලාගාරයේ විදුලිය නිපදවන්න ජලය ලබාගන්නේ සමනලවැව ජලාශයෙන්. සමනලවැව ජලාශයේ පවතිනවා ඉතා විශාල කාන්දුවක්. මේ කාන්දුව නිසා මේකට ලොකු ප්‍රසිද්ධියක් ලැබිලා තියෙනවා.

සමනලවැව ජලාශය

ඉතිං සෑහෙන කාලෙක ඉඳන් මේ කාන්දුවට පිළියම් යොදන්න විවිධාකාර ක්‍රියාමාර්ග ගත්තත් ඒවා සාර්ථක වෙලා නැහැ. නමුත් මේ වනවිට මේ කාන්දුවට බලපාන යාන්ත්‍රණය කුමක්ද කියලා හොයාගන්න, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා පරමාණු බලශක්ති අධිකාරියේ ඉංජිනේරුවන් සහ විද්‍යාඥයින් සමත් වෙලා තියෙනවා.

දැන් අපි මෙහි පසුබිම විමසා බලමු.

සමනලවැව ජලාශය පෝෂණය වෙන්නේ වලවේ ගඟෙන්. මේ ජලාශය ඉදිකරලා තියෙන භූමි ප්‍රදේශය ඉතා සංකීර්ණ භූ ලක්ෂණ සහිත ප්‍රදේශයක්. මේ හේතුවෙන් ඇතිවෙන යම් බලපෑමක් නිසා මේ ජලාශය ඉදිකරලා එහි පළමු වතාවට ජලය පිරෙන්නට සැලැස්වූ, එනම් 1991 කාලයේ පටන්ම මෙහි දකුණු ඉවුරේ මේ කියන ආකාරයේ කාන්දුවක් වර්ධනය වෙලා තියෙනවා.

සමනලවැව ජලාශයේ දකුණු ඉවුරේ ඇති ජල කාන්දුව

මේ සඳහා වහාම පිළියම් යෙදීම අරමුණු කරගෙන, 100m ක් ගැඹුරට යනකන්, 1300m දිගින් යුත් සිමෙන්ති බදාම වලින් කරන ලද තිරයක් (Curtain Grouting) ඉදිකරලා තියෙනවා. ටොන් 14,000 ක බරකින් යුත් වන මෙය ඉදිකරලා තියෙන්නේ කාන්දුව පවතින මාර්ගය අවහිර කිරීමේ අරමුණින්. පළමු වතාවට මේ කරපු වෑයම අසාර්ථක වුණා. මෙහි ප්‍රතිපලය වුනේ, ජලාශයේ මේ කාන්දුව පැවති දකුණු ඉවුරේ නායයාමක් වැනි වූ සෝදායාමක් ඇතිවීම. මෙය කෙතරම්ද කියනවා නම්, පැය කිහිපයක් ඇතුලත ඝන මීටර 25,000ක් පමණ ස්කන්ධයකින් යුක්ත වූ පස්, ගල් ආදිය සේදීයාමකට ලක්වුණා.

නැවතත් මේ කාන්දුවට පිළියමක් යෙදීමට කටයුතු ඇරඹුණා 1998 දී. මෙහි අරමුණ වුණේ “Wet Blanket” එකක් යොදාගෙන අදාළ කාන්දුව සහිත ප්‍රදේශය මුද්‍රා (seal) තැබීම. ඒ වනවිට, කාන්දුවට ප්‍රවේශ කලාපය ලෙස අනුමාන කරගෙන සිටි, ජලාශයේ බැම්මට 1km පමණ ගඟේ ඉහළට වන්නට , මීටර 700ක් පමණ දුරකට යනතෙක්, ප්‍රදේශය තමයි ආවරණය කරන්නට කටයුතු යෙදුනේ. මෙයත් කාන්දුව නවත්වන්න තරම් සාර්ථක වුණේ නැහැ. නමුත් මෙමගින් හැකිවුණා ජලාශයේ දකුණු ඉවුරේ භූගත ජල පීඩනය සැලකියයුතු ප්‍රමාණයකින් අඩුකරන්න. මේ කටයුතු 1999 වර්ෂය වන විට අවසන් වුණා.

ඉන්පසුවත් බ්‍රිතාන්‍ය, ඇමරිකානු, ප්‍රංශ, පාකිස්ථානු වැනි වූ විවිධ තාක්ෂණික විශේෂඥයින් යොදාගෙන වරින්වර මේ ප්‍රදේශය අධ්‍යයනය කෙරුණා. නමුත් මේ කාන්දුවට බලපාන යාන්ත්‍රණය සොයාගන්න මොවුන් සමත් වුණේ නැහැ.

මේ කාන්දුව පවතින භූමියේ ජලාශ්‍රිත භූ විද්‍යාත්මක විශ්ලේෂණ වලින් අනතුරුව, ලංකා විදුලිබල මණ්ඩලයට අනුයුක්තව සේවය කළ සිවිල් ඉංජිනේරු ආචාර්ය කමල් ලක්සිරි මහතා විසින් 2006 වසරේදී පවසා තිබෙනවා, මෙයට සම්බන්ධ  යාන්ත්‍රණය සාර්ථකව සොයාගෙන හෙළිකළ හැකි බව.

ඔහු පවසන පරිදි කාන්දුවට ප්‍රවේශ හැටියට පවතින පැහැදිළි පිවිසුම් මාර්ග, ජලාශය දකුණුපසට යාවූ කොටසේ ජලාශ පතුලට ආසන්නව සොයාගත හැකියි. කලින් මේ කාන්දුව සඳහා පිළියම් ලෙස යෙදූ, ජලාශය ඉහළ ප්‍රදේශ ආශ්‍රිතව කෙරුණු කටයුතු නිශ්ඵල බවත් මේ සොයාගැනීමෙන් ඔප්පු වෙනවා.

මේ ඔස්සේ ගනු ලබන ක්‍රියාමාර්ගයක් විදියට, මේ වසරේ අගෝස්තු මාසයේදී, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ සහායද ඇතිව නැවත අධ්‍යයනයන් ඇරඹුණා. මෙමගින්, සමස්ථානික තාක්ෂණය යොදාගෙන, කාන්දුවට හේතුවන යාන්ත්‍රණය තහවුරු කරගැනීමයි අරමුණ වුණේ.

ආචාර්ය කමල් ලක්සිරි මහතා විසින් සොයාගන්නා ලද ඒ ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකරන ලද නල මාර්ග පද්ධතියක් මගින් I-131 (Iodine 131) සමස්ථානිකය එන්නත් කර, ඉන් අනතුරුව, අනෙක් පසින්, ඒ කියන්නේ ජලාශය බැම්මට පහළින් කාන්දු ද්වාරය ආශ්‍රිතව විශ්ලේෂණය සිදුකෙරුණා. විස්මය දනවන කරුණක් වුණේ, පැය කිහිපයක් ඇතුළත්, කාන්දු ද්වාරයෙන් මේ සමස්ථානික දැකගන්න පුළුවන් වීම. ඉතිං මේ ආකාරයට කාන්දුවට හේතුවන ජල පිවිසුම් මාර්ග සොයගත්තා. මේ තමයි පළමු වතාවට සාක්ෂි සහිතව එවැන්නක් සොයාගත් අවස්ථාව.

දැන් ඉතිරිවෙලා තියෙන්නේ මේ කාන්දුව නවත්වන්න අදාළ ක්‍රියාමාර්ග ගන්න එක. ඒකත් නුදුරු අනාගතයේදීම සිදුවුනොත් සමනලවැව බලාගාරය ජාතික ජාලයට එක්කරන විදුලි බලශක්ති ප්‍රමාණය නිසැකයෙන්ම ඉහළ යනවා.

මේ ලිපියට මූලාශ්‍රය වුණේ, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) මගින් නිකුත් කරන Sri Lanka Engineering News මාසික සඟරාවේ 2011 සැප්තැම්බර් කලාපයේ පලවූ “Mystery of the Samanala Wewa Leakage solved! Local Engineers and Scientists establish the Samanala Wewa Leakage mechanism using isotope technology” ලිපියයි.

Advertisements