Graphics Card කොහොමද වැඩ කරන්නේ

 

පරිගණක තිරය මත අපි දකින පින්තූර හැදෙන්නේ  pixel වලින් කියලා ඔයාලා කවුරුත් දන්නවා ඇතිනේ. සාමාන්‍ය පරිගණක තිරයක් මේ කියන pixel මිලියන ගණනකින් සමන්විත වෙනවා. ඉතිං පින්තූරයක් හැදෙනකොට මේ එක් එක් pixel එක මගින් ඒ පින්තූරය හැදෙන්න දායක වෙන ආකාරය තීරණය කරන්නේ කවුද?

මේ කියන කරුණ වඩාත් පැහැදිළිව කියනවානම්, අපි හිතමු අපේ පරිගණකය තුළ save කරලා තියෙන image file එකක් අපිට බලන්න ඕන කියලා. Image file එක save කරලා තියෙන්නේ binary data විදියට. ඉතිං මේ binary data පින්තූරයක් බවට (pixel බවට) පරිවර්තනය කරන එක තමයි සරලවම කිව්වොත් Graphics card එක මගින් කරන්නේ. Graphics card එක තමයි තීරණය කරන්නේ කොහොමද මේ කියන binary data පින්තූරයක් බවට පත්කරන්න නම් තිරයේ තියෙන pixel හසුරුවන්න ඕන විදිය.

පරිගණකයේ ඇති processor එක අනෙකුත් application සමග සම්බන්ධ වෙලා තමයි අවශ්‍ය කරන binary data, graphics card එකට ලබාදෙන්නේ.  Graphics card එක තුළ ඇති processor එක මගින් තමයි එක් එක් pixel එක මගින් පෙන්විය යුතු වර්ණ තීරණය කරන්නේ. (binary data processing). ඒ එක් එක් pixel එකට අදාළ තොරතුරු තාවකාලිකව  (සම්පූර්ණ පින්තූරය සෑදෙන තෙක්) ගබඩා කරගන්න memory එකක් අවශ්‍ය වෙනවා. ඉන්පසු පරිගණක තිරය හා සම්බන්ධ වෙලා මෙය පින්තූරයක් ලෙස පෙන්වනවා. Graphics card එකට අවශ්‍ය power ලබාගන්නේ motherboard එකට සම්බන්ධ වෙලා. මේ විදියට තමයි Graphics card එක තුළ ඇති අංගෝපාංග සහ පරිගණකයේ සෙසු කොටස් එකතු වෙලා මේ කාර්යය කරන්නේ.

Graphics card එකක කොටස්

GPU (Graphics Processing Unit) කියන්නේ Graphics card එක තුළ binary data processing සඳහාම වන processor එකයි. මෙය graphics rendering සඳහා අවශ්‍ය වන සංකීර්ණ ගණිතමය සහ ජ්‍යාමිතික ගණනය කිරීම් වලට අවශ්‍ය වන විදියටයි සකසා තියෙන්නේ. ATI සහ NVIDIA සමාගම් තමයි අද  වෙළඳපලේ තියෙන GPU වැඩිපුරම නිෂ්පාදනය කරලා තියෙන්නේ.

එක් එක් pixel එකේ වර්ණය සහ එය පරිගණක තිරය මත පිහිටි ස්ථානය වැනි තොරතුරු තාවකාලිකව ගබඩා කරලා තියන්නේ graphics card එක තුළ ඇති RAM එකේ.  RAM එකේ කොටසක් frame buffer එකක් විදියට ක්‍රියාකරනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් සෑදී අවසන් වූ පින්තූර display වන තෙක් ගබඩා කර තැබීමයි. මේ RAM, dual ported වර්ගයේ වෙනවා. ඒ කියන්නේ එකවර එයින් දත්ත කියවීමටත් (read) ලිවීමටත් (write) හැකියාව පවතිනවා. RAM එක කෙලින්ම DAC (Digital to Analog Converter) එකකට සම්බන්ධ වෙනවා (RAMDAC). මෙමගින් පරිගණක තිරය (CRT monitors) මත පෙන්විය හැකි අකාරයට digital data, analog data බවට පරිවර්තනය කරනවා. ඇතැම් graphics card වල මේ ආකාරයේ RAMDAC කිහිපයක් තියෙනවා. එවායේ performance වැඩියි. ඒ වගේම පරිගණක තිර එකකට වඩා වැඩි සංඛ්‍යාවකට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා.

Process කිරීම සඳහා binary files මගින් binary data ලබාගැනීමටත්, power ලබාගැනීමටත් graphics card එකට motherboard එක සමග සම්බන්ධ වීමට සිදුවෙනවා. මෙය සිදුවන්නේ පහත සඳහන් අතුරු මුහුණත් (interface) වලින් එකක් හරහා.

  • PCI   – Peripheral Component Interconnect
  • AGP  – Advanced Graphics Port
  • PCIe  – PCI express

මේවා අතරින් PCI express interface එක තමයි graphics card සහ motherboard අතර වඩා වේගවත්ව දත්ත සම්ප්‍රේෂණය කරන්නේ.

Graphics card එකේ තියෙන DVI interface හරහා තමයි LCD monitor එකක් සම්බන්ධ කරන්නේ. CRT monitor එකක් සම්බන්ධ කරන්න අවශ්‍ය නම් භාවිතා කරන්නේ VGA interface එක. මීට අමතරව ඇතැම් graphics card වල වෙනත් උපකරණ සම්බන්ධ කරන්න පුළුවන් විදියේ අතුරු මුහුණත් තියෙනවා. මේ තියෙන්නේ ඉන් කිහිපයක්.

  • TV-out / S-video – රූපවාහිනී තිර
  • ViVo (video in/video out) – Analog වීඩියෝ කැමරා
  • FireWire / USB  – Digital වීඩියෝ කැමරා

Graphics card එකක් තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු සහ graphics processing සම්බන්ධ වෙනත් තාක්ෂණික තොරතුරු මීළඟ ලිපියෙන්……