Bermuda ත්‍රිකෝණය – 2

Bermuda ත්‍රිකෝණය ගැන ලියවුනු පසුගිය ලිපියේ ඉතිරිය මේ ලිපියෙන්…

පසුගිය ලිපියේ පළවුනා Aliens and Atlantis කියන මතය ගැන විස්තර. මේ ලිපියෙන් අනෙකුත් මත ගැන විමසා බලමු.

චුම්බක අසාමාන්‍යතා (Magnetic Abnormalities)

ත්‍රිකෝණය ආසන්න ප්‍රදේශයෙන් ගමන් ගන්නා අවස්ථාවල ගුවන් නියමුවන්ට ඇතැම් විට ඝන මීදුමක්/නොපැහැදිළි බවක් වැනි පාරිසරික ස්වභාව අත්දකින්න ලැබිලා තියෙනවා.  වරක් මේ හා සමාන අත්දැකීමක් ලබපු කෙනෙක් තමයි Bruce Gernon.

නිල් කුහර (Blue Holes)

නිල් කුහර යනුවෙන් හඳුන්වන්නේ ජලය පිරි කුහර/විවර. මේවා දෙවර්ගයක් තියෙනවා. පළමු වර්ගය තමයි inland blue holes කියන්නේ. ඒ කියන්නේ දූපත්වල අභ්‍යන්තර ප්‍රදේශවල භූමියේ පිහිටි කුහර. අනෙක් වර්ගය තමයි marine or ocean blue holes කියන්නේ. මේවා පිහිටලා තියෙන්නේ නොගැඹුරු දියේ හෝ වෙරලාසන්නයේ. මේ රූපයෙන් දැක්වෙන්නේ එවැනි blue hole එකක්.

ඉතිං මේ ත්‍රිකෝණය ආශ්‍රිත ප්‍රදේශයේත් මෙවැනි blue holes පිහිටලා තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒවායේ බලපෑම් නිසා මේ ප්‍රදේශයේ අසාමාන්‍යතා ඇති බවට මත ඉදිරිපත් වෙලා තියෙනවා.

දේශගුණික රටා සහ භූ ලක්ෂණ වල බලපෑම

මේ ප්‍රදේශයේ වරින් වර ඉතා චණ්ඩ වූ ක්ෂණිකව ඇති වී ක්ෂණිකව අවසන් වන කුණාටු සහ නොයෙකුත් කාලගුණික විපර්යාස ඇතිවෙන බව වාර්තා වෙලා තියෙනවා.  මේවා කොතරම් ක්ෂණිකද කියනවානම් පෘතුවි නිරීක්ෂණ චන්ද්‍රිකාවලට පවා හසුවන්නේ නැහැ. මේ විදියට ඇතිවෙන්න පුළුවන් දියසුළි වල චණ්ඩ බව කොතරම්ද කියනවා නම් නැව් පමණක් නොවේ ඒවා tornado විදියට අහසට නැගිලා ගුවන්යානා පවා විනාශ කරන්න පුළුවන්.  මුහුදු පතුලේ ඇතිවන භූමිකම්පා නිසාත් මේ වගේ දේවල් ඇතිවෙන්න පුළුවන්. ක්‍රමයෙන් බෑවුම් වන මහද්වීපික ස්ථර ස්වභාවයේ පටන් ඉතා ගැඹුරු අගල් ආකාරයේ වූ භූමි ප්‍රදේශ වලින් මේ මුහුදු පතුල සමන්විත වෙනවා. මුහුදු පතුලේ ගිලී මෙවන් අගලක රැඳුණු නැවක් වැනි යාත්‍රාවක් නැවත දක්නට නොලැබීම පුදුමයක් නොවන බවයි සඳහන් වෙන්නේ.

Bermuda ත්‍රිකෝණය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ඉතා වේගවත් හා ප්‍රචණ්ඩකාරී දියවැල් පිහිටා ඇති බව සොයාගෙන තියෙනවා. ඇතැම් ඒවා පැයට සැතපුම් 5ක් පමණ වේගයෙන් ඇදී යනවා. මෙවන් දියවැලකට හසුවුණොත් යාත්‍රාවක් විනාශ වෙනවා කියන්නේ අහන්නත් දෙයක්ද ?

Methane Gas Hydrates

Cardiff සරසවියේ විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙනවා මේ ප්‍රදේශයේ මුහුදු පතුලේ අධි සාන්ද්‍ර methane ලෙස වායු එක් රැස් වී ඇති බව. මියගිය මුහුදු ජීවීන්ගේ සිරුරු වියෝජනයට ලක්වීමේ ක්‍රියාවලියේදී අවසාදිතවල තැන්පත් බැක්ටීරියාවල ක්‍රියාකාරීත්වයෙන් මේවා සෑදෙනවා.  මේවා super concentrated methane ice ලෙස තැන්පත් වෙලා තියෙනවා. ඒවා හඳුන්වන්නේ gas hydrates කියලා. එනම්, අයිස් ස්ථරයක් මගින් මෙම වායු රඳවාගෙන සිටිනවා. ඇත්තෙන්ම කියනවා නම් මේවා එක්තරා අකාරයකට ශක්ති ප්‍රභව.

යම් අවස්ථාවක මෙම අයිස් ස්ථරය කැඩීමකට භාජනය වුනොත් (අධික පීඩනය නිසා) ඊට යටින් රැඳී ඇති වායු ක්ෂණයෙන් සාගර මතුපිටට පැමිණෙනවා. මෙවැනි අවස්ථාවක ඒ ප්‍රදේශයේ සාගර මතුපිට ජලය ඉතා අඩු ඝනත්වයක් ගන්නවා. නැවක් වැනි යාත්‍රාවක් ඒ ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබුනොත් එය නිතැතින්ම ගිලීම සිදුවෙනවා. ඒ විතරක් නොවේ, මෙසේ ක්ෂණික වායු විසර්ජනයක් ඇති වීමකදී ගින්නක් වුනත් ඇතිවෙන්න පුළුවන්. එමගින් ඉහළ අහසේ යන ගුවන් යානා පවා විනාශ විය හැකියි.

Bermuda ත්‍රිකෝණය ආශ්‍රිත ප්‍රදේශයේ ක්‍රියාකාරිත්වය ගැන මේ විදියේ නොයෙක් මත පළවුනත් තවමත් මෙයට හරියටම හේතුවක් හොයගෙන නැහැ. එය තවදුරටත් විසඳන්නට ඉතිරි වෙලා තියෙන දෙයක්.

Advertisements

Bermuda ත්‍රිකෝණය – 1

 

Bermuda ත්‍රිකෝණය ගැන ඔබ අහල ඇති; නැව්, ගුවන් යානා හිටි හැටියේම අතුරුදහන් කරවපු තැනක් විදියට. ඔව්, එය ඇත්තටම අදටත් අභිරහසක්. අද මම මේ ලිපියෙන් කියන්නේ මේ Bermuda ත්‍රිකෝණයේ ක්‍රියාකාරිත්වය ගැන පළකරලා තියෙන මත කිහිපයක්….

Bermuda ත්‍රිකෝණය පිහිටලා තියෙන්නේ අත්ලාන්තික් සාගරයේ, ඇමරිකා එක්සත් ජනපදයේ ගිණිකොන දිග වෙරළ තීරය දෙසට වන්නටයි. මෙය වර්ග සැතපුම් 500,000 කට ආසන්න ප්‍රදේශයක්. මේ සිතියමෙන් දැක්වෙන්නේ එහි භූගෝලීය පිහිටීම.

මේ ප්‍රදේශයේ සිදුවී ඇති අභිරහස් අතුරුදහන් වීම් වලින්, ගුවන් යානා සහ නාවික යාත්‍රා 100 කට අධික ප්‍රමාණයකුත්, මිනිස් ජීවිත 1000කට අධික ප්‍රමාණයකුත් විනාශ වෙලා තියෙනවා. ඉන් කිහිපයක් තමයි,

  • 1872 Mary Celeste නෞකාව අතුරුදහන් වීම
  • 1918 පළමු ලෝක යුධ සමයේදී U.S.S. Cyclops අතුරුදහන් වීම
  • 1945 Navy Avengers ගුවන් යානා 5 ක් අතුරුදහන් වීම
  • 1963 S.S. Marine Sulphur Queen නෞකාව අතුරුදහන් වීම

මේ ප්‍රදේශයේ සිදුවූ මේ අද්භූතජනක අතුරුදහන් වීම් කොහොමද වෙන්නෙ කියන එක සම්බන්ධව නොයෙක් මත පළ වෙලා තියෙනවා.

Aliens and Atlantis

එක් මතයක් තමයි මේ අතුරුදහන්වීම්වලට පිටසක්වල ජීවීන්ගේ සම්බන්ධයක් ඇති බව. මේ මතයට සාක්ෂි විදියට ඔවුන් ඉදිරිපත් කරන්නේ මේ ප්‍රදේශය ආසන්නව හඳුනා නොගත් පියාසර වස්තු (UFO – unidentified flying object) දර්ශනගතවීම බොහොමයක් වාර්තාගතවෙලා තිබීමයි. ඒ ඔස්සේ ගොඩනැගුනු මතයක් තමයි මේ Bermuda ත්‍රිකෝණය ආශ්‍රිත ප්‍රදේශය, පෘතුවියෙන් එපිට ග්‍රහලෝකවලට යන ද්වාරයක් කියලා.

Bermuda ත්‍රිකෝණය, “The lost city of Atlantis” හි නිවහන බවට මතයක් පලවෙලා තියෙනවා. එහි අවශේෂ වූ දියුණු තාක්ෂණයන්ගේ බලපෑම් මෙම අතුරුදහන්වීම් වලට හේතු වෙනවා කියලයි විස්තර වෙන්නේ. ප්‍රසිද්ධ මත පළකරන්නෙක් වන Edgar Cayce කියන විදියට නම් Atlantis හි තිබිලා තියෙනවා ඉතා දියුණු තාක්ෂණයක්. එහි විනාශයට හේතුවෙලා තියෙන්නෙත් ඔවුන් විසින් සාදා ඇති “death ray weapon” කියන අවිය. කෙසේ වෙතත් මේ කියන “The lost city of Atlantis” පුරාතනයේ පැවති බවට සාක්ෂි විදියට, මේ ප්‍රදේශය ආසන්නයේ ඇති දූපතක් වන Bimini දූපතේ වෙරළ තීරයට ආසන්නව සොයාගන්නා ලද ගල් වලින් කරන ලද මාර්ගයක ස්වරූපය ගත් ගල් අතුරා කරන ලද නිමැවුමක් හේතුවෙලා තියෙනවා. මේ රූපයෙන් දැක්වෙන්නේ එයයි.

“The lost city of Atlantis” හි තාක්ෂණය ගැන තව දුරටත් කතා කළොත්, බලශක්තිය ලබාගන්න පුළුවන් විශේෂ පළිඟු වර්ගයක් (special energy crystals) මෙහි පැවතිලා තියෙන බවට විශ්වාසයක් තියෙනවා. මේ මතය තහවුරු කරන්න සාක්ෂි තමයි 1970  දී  Dr. Ray Brown විසින් මුහුදු පතුලෙන් සොයාගන්නා ලද පිරමීඩය සහ ස්පඨික. මේ පිරමීඩය නිර්මාණය කරලා තියෙන්නේ විශේෂ පළිඟු වර්ගයකින්. එහි මතුපිට කැඩපතක ස්වරූපයක් ගෙන තිබෙනවා.

ඔහු විසින් මේ පිරමිඩයේ ඇතුලතත් පරීක්ෂා කරලා තියෙනවා. එහිදී ඔහුට හමුවෙලා පිත්තල වැනි වූ ලෝහයකින් නිමවන ලද යෂ්ටියක්.  මේ යෂ්ටිය තිබූ ස්ථානයට කෙලින්ම පහළින් තිබිලා තියෙනවා ලෝකඩ ආධාරකයක් මත වූ අඟල් 4ක පමණ විෂ්කම්භයකින් යුතු වූ පළිඟුවක්. මේ දෙස හොඳින් අවධානය යොමුකර බැලුවොත් දකින්න පුළුවන්, ප්‍රමාණයෙන් ක්‍රමයෙන් කුඩා වන ආකාරයට වූ පිරමිඩාකාර ප්‍රතිබිම්බ 3ක්. තවත් හොඳින් බැලුවොත් සිව්වන පිරමිඩයකුත් එතුළින් දැකගන්න පුළුවන් කියලයි කියන්නෙ.  Dr. Ray Brown සඳහන් කරන විදියට මේ පළිඟුවේ දක්නට ලැබෙන මෙම රේඛා ඉතා සියුම් විද්‍යුත් පරිපථයක් විදියට සලකන්නත් පුළුවන්.  මේ ඔස්සේ ඔහු ඉදිරිපත් කරලා තියෙන මතය තමයි, මේ ස්පඨික වල ඇති මෙම විද්‍යුත් ස්වභාවය නිසා එවායින් නිකුත් කරන යම් යම් කිරණ පවතින බවත් එමගින් මේ බලපෑම් ඇතිවන බවත්. උදාහරණයක් විදියට, මාලිමා යන්ත්‍රයකට දිශාව පෙන්වීමට බලපෑම් ඇතිකිරීම වගේ දේවල්.

මේ Bermuda ත්‍රිකෝණය ගැන පළවෙලා තියෙන එක් මතයක් විතරයි. මින් ඔබ්බට ගිය, විද්‍යාත්මකව මීට වඩා එකඟ විය හැකි මත බොහොමයක් පළ වෙලා තියෙනවා. ඒ ගැන තොරතුරු මීළඟ ලිපියෙන්……