නිල් දත් :-)

Bluetooth – හැම තැනම අහන්න ලැබෙන වචනයක්. ජංගම දුරකථනයේ පටන් laptop එක දක්වා. සරලවම කිව්වොත් මේ වගේ උපකරණ එකිනෙක සම්බන්ධ කරන තාක්ෂණයක්.

Bluetooth කියන්නේ රැහැන් රහිත ස්වයංක්‍රීය සබැඳි ක්‍රමයක්. Bluetooth ගැන කියන්න කලින් අපි බලමු උපකරණ 2ක් අතරේ සම්බන්ධතාවක් ඇතිවෙන්න නම් මූලිකවම සපුරාගත යුතු අවශ්‍යතා මොනවද කියලා.

  1. උපකරණ 2 අතරේ භෞතිකව සබැඳිය ඇති වෙන්නේ කොහොමද කියලා එකඟතාවක් ඇතිවෙන්න ඕන. ඒ කියන්නේ සබැඳිය ඇතිවෙන්නේ වයර් මගින්ද නැත්නම් රැහැන් රහිත ක්‍රමයකින්ද (wireless) කියන එක. වයර් මගින් නම්, වයර් කීයක්ද යන වග (1,2,8,25…).
  2. කොපමණ දත්ත ප්‍රමාණයක් වරකට සම්ප්‍රේෂණය කරනවාද යන්න. උදාහරණයක් ලෙස serial port එක මගින් සම්බන්ධ වෙනවා නම් වරකට 1bit. Parallel port මගින් සම්බන්ධ වෙනවා නම් වරකට bit කිහිපයක්.
  3. Protocol, එහෙමත් නැතිනම්, මේ සම්ප්‍රේෂණය කරන signal වලින් අදහස් කරන්නේ මොකක්ද කියන එක. මෙහෙම එකඟතාවයක් ඇති වුනේ නැතිනම් පණිවුඩය යවන්නා අදහස් කරන දේ නෙමෙයි පණිවුඩය ලබන්නා ග්‍රහණය කරගන්නේ.

ඉතිං මම කලින් සඳහන් කළානේ Bluetooth කියන්නේ ස්වයංක්‍රීය සබැඳි ක්‍රමයක් කියලා. ඒ කියන්නේ මේ එකඟතාවයන් උපකරණ 2 අතරේ ඇතිකරගන්න තවත් පාර්ශවයක් මැදිහත් වෙන්න ඕන නැහැ.

Bluetooth 1.0 තාක්ෂණයට අනුව දත්ත සම්ප්‍රේෂණය කළ හැකි උපරිම වේගය 1Mbps ක්. Bluetooth 2.0 තාක්ෂණයට අනුව එය 3Mbps දක්වා වෙනවා. Bluetooth වලදී දත්ත සම්ප්‍රේෂණය සිදුවන්නේ ගුවන් විදුලි තරංග උපයෝගී කරගෙන. සාමාන්‍යයෙන් 2.402 GHz සහ 2.480 GHz අතර පරාසයේ.

Bluetooth තාක්ෂණය දියුණු කරලා තියෙන්නේ, මේ සංඛ්‍යාත පරාසයේ පවතින තරංග භාවිතා වන අනෙකුත් උපකරණ වල ක්‍රියාකාරිත්වයට බාධා ඇති නොවන ආකාරයකට භාවිතා කරන්න පුළුවන් වෙන්න. ඒ කොහොමද කියලා කියනවානම්, Bluetooth කියන්නේ 1mW ක් වගේ ඉතා අඩු ක්ෂමතාවක් තියෙන signal වර්ගයක්. මෙවැනි අඩු අගයක ක්ෂමතාවක් පවතින නිසා signal යවන්න පුළුවන් පරාසය සාමාන්‍යයෙන් 10m (අඩි 32 ) පමණ තමයි වෙන්නේ.  බිත්ති වගේ දේවල් හරහා වුනත් Bluetooth මගින් දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන් .

Bluetooth තාක්ෂණයේදී එකවර උපකරණ 8ක් දක්වා සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන්.

ඔබට හිතෙන්නේ නැද්ද මෙහෙම ගැටළුවක් ඇති වෙයි කියලා. අපි හිතමු උපකරණ 2ක් (A සහ B කියලා) අතරේ  දත්ත සම්ප්‍රේෂණය වෙනවා. මින් එකකට (A ට)  10m කට වඩා අඩු දුරක තියෙන තවත් උපකරණයක් (C) වෙනත් උපකරණයක් (D) එක්ක  සම්බන්ධ වෙලා දත්ත සම්ප්‍රේෂණය කරන්න පටන් ගන්නවා. මේ වෙලාවෙදී අපි අර මුලින් කියපු A කියන උපකරණය C මගින් සම්ප්‍රේෂණය කරන දත්ත ලබාගත්තොත් !!! මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද?

Bluetooth තාක්ෂණයේදී මේ වගේ ගැටළු ඇති වෙන්නේ නැහැ. හේතුව තමයි spread-spectrum frequency hopping කියලා තාක්ෂණික ක්‍රමයක් එහි භාවිතා වීම.

මේ ක්‍රමය විස්තර වශයෙන් කියනවානම් මෙහෙමයි. මේ ක්‍රමයේදී උපකරණයක් දත්ත සම්ප්‍රේෂණය කරන්නේ විවිධ සංඛ්‍යාත (Bluetooth වල පරාසයේ තියෙන) 79 ක් අතරින් අහඹු ලෙස තොරාගත් එක් සංඛ්‍යාතයකින්. තවදුරටත්, මෙසේ සම්ප්‍රේෂණය කරන උපකරණයක් තත්පරයකට වාර 1600ක් තම සම්ප්‍රේෂණ සංඛ්‍යාතය වෙනස් කරනවා. මේ නිසා උපකරණ විශාල සංඛ්‍යාවකට මේ සංඛ්‍යාත පරාසයේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතිං ඉතාමත් කලාතුරකින් තමයි උපකරණ 2ක් එකම සංඛ්‍යාතයම තෝරා ගැනීමක් සිදුවන්නේ. ඒ සම්භාවිතාව නොගිනිය හැකි තරම්. ඒ වගේම තමයි තත්පරයකට වාර 1600ක් සංඛ්‍යාත වෙනස්වීම සිදුවෙන නිසා එක් උපකරණයකින් තවත් උපකරණයක සම්ප්‍රේෂණයට බාධාවක් ඇතිවුනත් එය පවතින්නේ තත්පරයකින් 1600කින් පංගුවක් වගේ ඉතා කුඩා කාල පරාසයක් තුළදීයි.

උපකරණ 2ක් එකිනෙකාගේ පරාසය (10m) තුළ තියෙනකොට මේ උපකරණ 2 අතර ස්වයංක්‍රීය ලෙස විද්‍යුත් සන්නිවේදන (electronic conversation) ක්‍රියාවලියක් හටගන්නවා. එසේ සිදුවන්නේ එම උපකරණ 2 අතරේ සම්බන්ධතාවක් ඇතිවෙන්න අවශ්‍යද කියන එක තීරණය කරගන්න. මේ තහවුරු කරගැනීමෙන් අනතුරුව උපකරණ අතරේ piconet (PAN – Personal Area Network) එකක් පිහිටුවා ගන්නවා. මේ piconet එක පිහිටුවා ගැනීමෙන් අනතුරුව උපකරණ 2 අතර එකඟ වූ සංඛ්‍යාතයක් අහඹු ලෙස තෝරාගෙන සන්නිවේදනය සිදුකෙරෙනවා.

Security ගැන කිව්වොත්…..

Bluetooth කියන්නෙත් රැහැන් රහිත ක්‍රමයක්. ඒ විතරක් නෙමෙයි උපකරණ ස්වයංක්‍රීයව සම්බන්ධ වෙනවා. ඉතිං මෙසේ සම්ප්‍රේෂණය කරන දේවල් මගදි අල්ලා ගන්න එක (intercept) හරි ලේසියි. ඉතිං ආරක්ෂාව සඳහා ක්‍රියාමාර්ග ගන්නම් ඕන.

එක ක්‍රමයක් තමයි Trusted devices එක්ක විතරක් සම්බන්ධ වෙන එක. මේ ක්‍රමයෙදී උපකරණයක් කෙලින්ම තවත් උපකරණයක් එක්ක සම්බන්ධ වෙන්නේ userගෙන් අවසර ගත්තායින් පස්සෙ තමයි. Bluetooth ආපු මුල් කාලේ ජංගම දුරකථන වෛරස් පතුරුවන අය මේ ස්වයංක්‍රීය සබැඳි ක්‍රමයෙන් අයුතු ප්‍රයෝජන අරගෙන තියෙනවා. නමුත් දැන් ඒවායේ security ඉහළ මට්ටමක තියෙනවා.

Bluejacking සහ Bluebugging කියන්නේ Bluetooth උපකරණ සම්බන්ධ ගැටළු. Bluejacking වලදී Bluetooth උපකරණයක් මගින් business card එකක් වැනි message එකක් ජංගම දුරකථනයකට යවනවා. මෙහිදී යම්කිසි විදියකින් message එක ලබාගන්න ජංගම දුරකථනය ඒ contact එක add කරගත්තොත්, නැවත ඒ contact එකෙන් message එකක් ලැබුනොත් එය known contact එකක් හැටියට සලකලා message accept කරන්න ඉඩකඩ වැඩියි. ඉතිං මේ විදියට දෙවෙනියට එවන message එක ඇතැම් විට හානිකර ආකාරයේ එකක් වෙන්න ඉඩ තියෙනවා. Bluebugging කියන්නේ ජංගම දුරකථනයකට දුරස්ථව ප්‍රවේශ වෙලා එයින් නොයෙකුත් ආකාරයේ messages, phone calls යැවීම.

ඕනෑම තාක්ෂණයක් දියුණු වෙනකොට ඉන් අයුතු ප්‍රයෝජන ගන්නත් පිරිසක් බලාගෙන ඉන්නවා. මේ නිසයි security කියන එක මේ තරම් වැදගත් වෙලා තියෙන්නේ.

Cloud Computing ගැන තව දුරටත්…..

 

පසුගිය ලිපියෙන් අපි කතාකළා cloud computing කියන්නේ මොනවගේ දෙයක්ද කියන එක. මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ එහි ඇති වාසි අවාසි ගැන විමසා බලන්න.

Cloud එකක  host කරන්න පුළුවන් application වර්ග මෙතෙකැයි කියලා සීමා කරන්න බැහැ. නියමාකාරයෙන් middle-ware තියෙනවානම් ඉතා සංකීර්ණ applications පවා host කරන්න පුළුවන්.

යම් ආයතනයක් cloud computing system එකක් භාවිතා කිරීමෙන් එයාලාට ලැබෙන වාසි මොන වගේද කියලා අපි දැන් විමසා බලමු.

cloud එකක applications host කරලා තියෙනකොට අන්තර්ජාලය හරහා ලෝකයේ ඔනෑම තැනක ඉඳන් ඒ application වලට ප්‍රවේශ වෙන්න පුළුවන්. ඉතිං resources එක් පරිගණකයකට දෙකකට සීමා වෙලා නැහැ.

ඒ වගේම තමයි hardware සඳහා යන වියදම අවම කරගන්නත් පුළුවන්. Client side එකේ තියෙන පරිගණකවලට ඉහළ දත්ත සැකසුම් හැකියාවක්වත්, දත්ත ගබඩා කර තබාගැනීමේ ඉහළ හැකියාවක්වත්, ඉහළ memory එකක්වත් තියෙන්න උවමනා නැහැ. මොකද, cloud side එක ඒ සියල්ල ගැන වග බලාගන්න නිසා.

ඒ වගේම තමයි client side එකේ පරිගණකයක් භාවිතා කරලා යම් කිසි කාර්යයක් කරගන්න අදාළ මෘදුකාංග එහි ස්ථාපනය කරලා තිබීම අවශ්‍ය වෙන්නෙත් නැහැ.ඒ නිසා license සම්බන්ධ ගැටළුත් අවමයි.

Cloud Computing සම්බන්ධව දැනට පවතින ගැටළු

සම්බන්ධව දැනට පවතින ගැටළු තමයි සුරක්ෂිත බව (security) සහ පෞද්ගලිකභාවය (privacy) පිළිබඳ ගැටළු.

යම් ආයතනයක් විසින් වෙනත් සමාගමක් යටතේ පවත්වාගෙන යන cloud system එකක භාවිතා කරනකොට තම ආයතනය සතු තොරතුරු අදාළ cloud system එකට හෙළි කරන්න වෙනවා. මෙය තරමක් ගැටළු සහගත තත්වයක්.

අනෙක් අතට, යම් කිසි කෙනෙකු සතු තොරතුරු වලට ආරක්ෂාවක් ලබාදී තියෙන්නේ ඒ පුද්ගලයාගේ username සහ password මගින් පමණයි. ඉතින් username, password වෙනත් අයෙකු අතට පත්වුණොත් අර තොරතුරු ඕනෑම එකක් ලබාගන්න පුළුවන්.

නමුත් cloud computing කියන්නේ ඉතා සකසුරුවම් අයුරින් සම්පත් පරිහරණය කරන්න සැකසුන තාක්ෂණයක්. ඉතිං ඉදිරියට මේ තියෙන ගැටළු වලට විසඳුම් සොයාගනීවි.

මොකක්ද මේ Cloud Computing !

අපි එදිනෙදා වැඩ කටයුතු පරිගණකයක් උදව් කරගෙන කරනවානම් අපිට ඒ සඳහා අවශ්‍ය මෘදුකාංග අපේ පරිගණකය තුළ ස්ථාපනය කරගන්න (software installation) වෙනවා. උදාහරණයක් විදියට කියනවා නම් අපිට පරිගණකය භාවිතා කරලා ලිපියක් සකසා ගන්න ඕනනම් microsoft word හරි එහෙමත් නැත්නම් openoffice writer වගේ software එකක් අපේ පරිගණකයේ install කරලා තියෙන්න ඕන. මේ විදියට install කරගන්න software සඳහා නියමිත license තියෙනවා. නීත්‍යානුකූල විදියට ඒවා භාවිතා කරනවා නම් ඒ license හරි විදියට තියෙන්නත් ඕන. අනික් අතට මේ software අපේ පරිගණක තුළ install කරන්න hard drive එකේ යම් කිසි ඉඩ ප්‍රමාණයක් වැය වෙනවා. මේක සාම්ප්‍රදායික ලෙස software භාවිතා කරන විදිය.

මේ විදියට software එකක් අපේ පරිගණකය තුළ install කරන්නේ නැතිව, එම කාර්යයම ඉටුකරගත හැකි මෘදුකාංගයක් ස්ථාපිත කරපු server එකකට දුරස්ථ (remote) ලෙස සම්බන්ධ වෙලා අපේ කාර්යයන් කරගන්න තමයි cloud computing හඳුන්වලා දීලා තියෙන්නේ.

Cloud computing වලදි අපි කලින් සඳහන් කරපු විදියට අපේ පරිගණකය තුළ software install කරන්න උවමනා වෙන්නේ නැහැ. ඉතිං අර කියපු විදියේ license සහ storage සම්බන්ධ ගැටළුවත්, processing power සම්බන්ධ ගැටළුවත් ඇතිවන්නේ නැහැ.

ඉහත රූපයෙන් ඔබට පැහැදිළි ඇති cloud එක කියන්නෙත් එකිනෙකට සම්බන්ධ වූ පරිගණකවලින් සමන්විත ජාලයක්. අපේ පරිගණකය එයට සම්බන්ධ වෙන්නේ අන්තර්ජාලය හරහායි. ඉතිං අන්තර්ජාලයෙන් එපිට තියෙන ඒ cloud එක මේ කියන සියළුම ගැටළුවලට විසඳුම් නීත්‍යානුකූලව සොයාගනියි. ඇත්තටම කියනවානම් workload shift එකක්. අපේ පරිගණකයෙන් cloud එකට සම්බන්ධ වෙලා කාර්යයක් කරගැනීමේදී අවශ්‍ය වෙන්නේ ඒ සඳහා සැකසූ interface application එක load කරගැනීම පමණයි. මෙය සාමාන්‍යයෙන් web browser එකක්.

Cloud Computing Architecture

Cloud computing system එකක අපිට පැහැදිළිව දකින්න පුළුවන් ආකාරයේ කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි Front end සහ Back end. මේ කොටස් 2 එකිනෙක සම්බන්ධ වෙන්නේ පරිගණක ජාලයක් (network) හරහායි. සාමාන්‍යයෙන් නම් අන්තර්ජාලය හරහා. Front end තමයි user ගේ පරිගණකය. Back end තමයි cloud එක. Front end එකේ, එහෙමත් නැතිනම් user ගේ පරිගණකයේ තමයි cloud එක පරිශීලනය කරන්න අවශ්‍ය වන interface application ස්ථාපනය කරලා තියෙන්නේ. උදාහරණයක් විදියට web browser එකක්.

Back end එකේ තියෙන්නේ තරමක් සංකීර්ණ පද්ධතියක්. මේ පද්ධතිය, විවිධාකාරයේ පරිගණක, දත්ත ගබඩා සහ servers වලින් සමන්විත වෙනවා. සම්පූර්ණ cloud එකේම පරිපාලන කටයුතු කරන්නේ central server එකක් මගින්. මේ central servers වල භාවිතා වෙන්නේ middle-ware. මේ කියන middle-ware මගින්, ජාලය තුළ ඇති පරිගණක එකිනෙක අතර සන්නිවේදන කටයුතු සිදුකරනවා. මේවා සිදුවන්නේ protocols නම් වූ විශේෂිත රීති සමුදායකට අනුකූලවයි.

දැන් අපි බලමු මේ central servers මගින් cloud පද්ධතියට මොන වගේ දායකත්වයක්ද ලැබෙන්නේ කියලා.

Cloud එකේ තියෙන ඇතැම් servers බොහෝ විට ඒවායේ උපරිම ධාරිතාවයෙන් (maximum capacity) වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ එවායේ processing power අපතේ යාමක් සිදුවෙනවා. ඉතිං server virtualization මගින් මේවායේ ප්‍රතිදානය උපරිම මට්ටමක් කරා ගෙන එන්නේ මේ central servers මගින්. මෙමගින් අවශ්‍ය වන servers ප්‍රමාණය අවම මට්ටමක පවත්වාගන්න පුළුවන්.

Cloud පද්ධතියකට දත්ත ගබඩා කිරීමට අවශ්‍ය වන ඉඩ ප්‍රමාණය අවම වශයෙන් එය භාවිතා කරන්නන්ට අවශ්‍ය ඉඩ ප්‍රමාණය මෙන් දෙගුණයක්.  මේකට හේතුව තමයි, Data Redundancy . ඒ කියන්නේ එකම දත්තය අවම වශයෙන් තැන් දෙකකවත් ගබඩා කරලා තියාගන්න ඕන. එහෙම නැත්නම්, යම් බිඳවැටීම් අවස්ථාවකදී data loss වීමක් වෙන්න පුළුවන්. තමයි මෙවැනි බිඳවැටීම් අවස්ථාවකදී, දත්ත ප්‍රකෘති ස්වභාවයට ගන්න (data recovery) සහාය වෙන්නේ.

Cloud computing වල තිබෙන වාසි-අවාසි ගැන මීළඟ ලිපියෙන්….

Graphics Card කොහොමද වැඩ කරන්නේ

 

පරිගණක තිරය මත අපි දකින පින්තූර හැදෙන්නේ  pixel වලින් කියලා ඔයාලා කවුරුත් දන්නවා ඇතිනේ. සාමාන්‍ය පරිගණක තිරයක් මේ කියන pixel මිලියන ගණනකින් සමන්විත වෙනවා. ඉතිං පින්තූරයක් හැදෙනකොට මේ එක් එක් pixel එක මගින් ඒ පින්තූරය හැදෙන්න දායක වෙන ආකාරය තීරණය කරන්නේ කවුද?

මේ කියන කරුණ වඩාත් පැහැදිළිව කියනවානම්, අපි හිතමු අපේ පරිගණකය තුළ save කරලා තියෙන image file එකක් අපිට බලන්න ඕන කියලා. Image file එක save කරලා තියෙන්නේ binary data විදියට. ඉතිං මේ binary data පින්තූරයක් බවට (pixel බවට) පරිවර්තනය කරන එක තමයි සරලවම කිව්වොත් Graphics card එක මගින් කරන්නේ. Graphics card එක තමයි තීරණය කරන්නේ කොහොමද මේ කියන binary data පින්තූරයක් බවට පත්කරන්න නම් තිරයේ තියෙන pixel හසුරුවන්න ඕන විදිය.

පරිගණකයේ ඇති processor එක අනෙකුත් application සමග සම්බන්ධ වෙලා තමයි අවශ්‍ය කරන binary data, graphics card එකට ලබාදෙන්නේ.  Graphics card එක තුළ ඇති processor එක මගින් තමයි එක් එක් pixel එක මගින් පෙන්විය යුතු වර්ණ තීරණය කරන්නේ. (binary data processing). ඒ එක් එක් pixel එකට අදාළ තොරතුරු තාවකාලිකව  (සම්පූර්ණ පින්තූරය සෑදෙන තෙක්) ගබඩා කරගන්න memory එකක් අවශ්‍ය වෙනවා. ඉන්පසු පරිගණක තිරය හා සම්බන්ධ වෙලා මෙය පින්තූරයක් ලෙස පෙන්වනවා. Graphics card එකට අවශ්‍ය power ලබාගන්නේ motherboard එකට සම්බන්ධ වෙලා. මේ විදියට තමයි Graphics card එක තුළ ඇති අංගෝපාංග සහ පරිගණකයේ සෙසු කොටස් එකතු වෙලා මේ කාර්යය කරන්නේ.

Graphics card එකක කොටස්

GPU (Graphics Processing Unit) කියන්නේ Graphics card එක තුළ binary data processing සඳහාම වන processor එකයි. මෙය graphics rendering සඳහා අවශ්‍ය වන සංකීර්ණ ගණිතමය සහ ජ්‍යාමිතික ගණනය කිරීම් වලට අවශ්‍ය වන විදියටයි සකසා තියෙන්නේ. ATI සහ NVIDIA සමාගම් තමයි අද  වෙළඳපලේ තියෙන GPU වැඩිපුරම නිෂ්පාදනය කරලා තියෙන්නේ.

එක් එක් pixel එකේ වර්ණය සහ එය පරිගණක තිරය මත පිහිටි ස්ථානය වැනි තොරතුරු තාවකාලිකව ගබඩා කරලා තියන්නේ graphics card එක තුළ ඇති RAM එකේ.  RAM එකේ කොටසක් frame buffer එකක් විදියට ක්‍රියාකරනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් සෑදී අවසන් වූ පින්තූර display වන තෙක් ගබඩා කර තැබීමයි. මේ RAM, dual ported වර්ගයේ වෙනවා. ඒ කියන්නේ එකවර එයින් දත්ත කියවීමටත් (read) ලිවීමටත් (write) හැකියාව පවතිනවා. RAM එක කෙලින්ම DAC (Digital to Analog Converter) එකකට සම්බන්ධ වෙනවා (RAMDAC). මෙමගින් පරිගණක තිරය (CRT monitors) මත පෙන්විය හැකි අකාරයට digital data, analog data බවට පරිවර්තනය කරනවා. ඇතැම් graphics card වල මේ ආකාරයේ RAMDAC කිහිපයක් තියෙනවා. එවායේ performance වැඩියි. ඒ වගේම පරිගණක තිර එකකට වඩා වැඩි සංඛ්‍යාවකට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා.

Process කිරීම සඳහා binary files මගින් binary data ලබාගැනීමටත්, power ලබාගැනීමටත් graphics card එකට motherboard එක සමග සම්බන්ධ වීමට සිදුවෙනවා. මෙය සිදුවන්නේ පහත සඳහන් අතුරු මුහුණත් (interface) වලින් එකක් හරහා.

  • PCI   – Peripheral Component Interconnect
  • AGP  – Advanced Graphics Port
  • PCIe  – PCI express

මේවා අතරින් PCI express interface එක තමයි graphics card සහ motherboard අතර වඩා වේගවත්ව දත්ත සම්ප්‍රේෂණය කරන්නේ.

Graphics card එකේ තියෙන DVI interface හරහා තමයි LCD monitor එකක් සම්බන්ධ කරන්නේ. CRT monitor එකක් සම්බන්ධ කරන්න අවශ්‍ය නම් භාවිතා කරන්නේ VGA interface එක. මීට අමතරව ඇතැම් graphics card වල වෙනත් උපකරණ සම්බන්ධ කරන්න පුළුවන් විදියේ අතුරු මුහුණත් තියෙනවා. මේ තියෙන්නේ ඉන් කිහිපයක්.

  • TV-out / S-video – රූපවාහිනී තිර
  • ViVo (video in/video out) – Analog වීඩියෝ කැමරා
  • FireWire / USB  – Digital වීඩියෝ කැමරා

Graphics card එකක් තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු සහ graphics processing සම්බන්ධ වෙනත් තාක්ෂණික තොරතුරු මීළඟ ලිපියෙන්……

Microwave Oven එකක් තුළ සිදුවන ක්‍රියාවලිය

 

20 වන සියවසේ සිදුකෙරුණු ඉතා වැදගත් නිපැයුමක් තමයි Microwave Oven කියන්නේ.  මෙමගින් ඉතා ක්ෂණිකව ආහාර වර්ග පිසගන්න පුළුවන් වගේම විදුලිය අරපිරිමැස්ම අතිනුත් ඉතා ඉහළ තැනකයි ඉන්නේ. Microwave Oven එකක් තුළදී සිදුවන්නේ කුමක්ද කියලා අපි දැන් විමසා බලමු.

Microwave oven එකකින් ආහාර පිසීමේදී රත්වීම සිදුවන්නේ ක්ෂුද්‍ර තරංග (microwaves) මගින්.  ක්ෂුද්‍ර තරංග අයත් වෙන්නෙත් ගුවන් විදුලි තරංග ගනයටමයි. Microwave oven එකක භාවිතා වෙන්නේ 2.5 GHzපරාසයේ ඇති තරංග.

මෙම සංඛ්‍යාත පරාසයේ ඇති තරංගවල ලක්ෂණයක් තමයි, ඒවා ජලය, මේද සහ සීනි මගින් අවශෝෂණය කරගැනීම. මෙසේ අවශෝෂණය කරගත් තරංගවල තියෙන ශක්තිය ඒවායේ පරමාණුක චලිතය බවට පත්වෙනවා. එනම් තාප ශක්තියයි.

මෙම සංඛ්‍යාත පරාසයේ ඇති තරංග බොහොමයක් ප්ලාස්ටික්, වීදුරු හෝ සෙරමික් වර්ග මගින් අවශෝෂණය කරගන්නේ නැහැ. තවද, ලෝහ මගින් මෙම තරංග පරාවර්තනය කරනවා.  ඉතිං මේ ලක්ෂණ නිසා තමයි Microwave oven එකක් තුළදී ආහාර අඩංගු බඳුන් රත් නොවී ආහාරය පමණක් ඉතා ක්ෂණිකව රත්කරගන්න පුළුවන් වෙන්නේ. ලෝහ මෙම තරංග පරාවර්තනය කරන නිසා තමයි, ලෝහ බඳුන්වල දැමූ අහාර මෙමගින් රත්කරගන්න නොහැකි වෙන්නේ.

ඔබ අහලා ඇති Microwave oven එකක ආහාර රත්වීම සිදුවන්නේ ඇතුළත සිට පිටත දක්වා කියලා. (සාමන්‍ය oven එකක් නම් පිටත සිට ඇතුළට තාපය ගලා යා යුතුයි.) නමුත් මෙහිදී ඇත්තටම නම් තාපය ගලායාමක් සිදුවන්න අවශ්‍ය නැහැ. ආහාරය සම්පූර්ණයෙන්ම එකවර රත්වීමකට ලක්වෙනවා. තවදුරටත් විස්තර කරනවානම්, සාමාන්‍ය  oven එකක රත්වීම සිදුවන්නේ සන්නයනය මගින්. එම නිසා තාපය පිටත සිට ඇතුළතට ගලායාමක් සිදුවෙන්න අවශ්‍යයි ආහාරයේ ඇතුළත කොටස් රත්වීමට නම්. නමුත් Microwave oven  එකක නම් ක්ෂුද්‍ර තරංග, ආහාරය තුළින් ගමන් ගෙන එහි වන සංඝටක වලට උරාගෙන එහිදී තාපය බවට හැරී ආහාරය සම්පූර්ණයෙන්ම එකවිට රත්කරනවා.

Lytro Light Field කැමරාවක ක්‍රියාකාරීත්වය

 

Lytro Light Field Camera කියන්නේ ඡායාරූපකරණයේ නවතම හඳුන්වාදීමක්. මෙහි ක්‍රියාකාරීත්වයට පාදකවන්නේ අළුත්ම තාක්ෂණයක්. ඒ තමයි Light Field Photography.

සාමන්‍ය කැමරාවකින් ඡායරූපයක් ගැනීමේදී සිදුවන්නේ පළමුව නාභිගත කිරීම සිදුකර ඉන්පසු ජායාරූපය ගැනීමයි. ඒත් මේ කැමරාවෙන් ගන්නා ඡායාරූප අපට අවශ්‍ය පරිදි පසුව නාභිගත කරගන්න පුළුවන්. (“Living Images” that can be infinitely refocused after capture.)

පහළ පින්තූරයෙන් දැක්වෙන්නේ Lytro වෙබ් අඩවියේ මෙවැනි කැමරාවකින් ගත් ඡායරූප පෙන්වා ඇති අකාරයයි.  ඡායරූපයේ ඕනෑම තැනක් මත click කිරීමෙන් එම ස්ථානය නාභිගත කරගන්න (focus) පුළුවන්. double click කිරීමෙන් zoom කරන්න පුළුවන්.

ඔබට මේ කැමරාවකින් ගත් ඡායරූපයක ස්වභාවය බලන්න පුළුවන් මෙන්න මෙතැනින්.

මේ කැමරාවේ ක්‍රියාකාරීත්වය සරලවම පැහැදිළි කරනවනම්, කැමරාවේ කාච මගින් සිදු කරන්නේ එහි දර්ශන පථයට (field of view) හසුවන දෘශ්‍ය ආලෝකය සම්පූර්ණයෙන්ම එක්කාසු (gather) කරගැනීමයි. අපි මේ ඡායාරූප වල දකින සූක්ෂම නාභිගතවීම් (focus) වලට අදාළ ක්‍රියාවලිය සිදුකරනු ලබන්නේ විශේෂ මෘදුකාංගයක් මගිනුයි.

මේ කැමරාවේ අංගෝපාංග ගැන කිව්වොත්, එහි මූලිකවම තියෙන්නේ power button, shutter button සහ zoom range control slider පමණයි. අනෙක් කැමරාවල මෙන් aperture, shutter speed, focus සඳහා වන controllers මෙයට අවශ්‍ය නැහැ.

සාමන්‍ය කැමරාවක සිදුවන්නේ එහි කාචය මත කෙලින්ම (direct) පතිත වන ආලෝක කිරණ නාභිගත කර digital sensor එකක් මත එම තොරතුරු සටහන් කර ගැනීමයි. මේ තොරතුරු ගබඩා කරගනු ලබන්නේ (2D array එකක) වර්ණය සහ තීව්‍රතාව පදනම් කරගෙනයි.

කෙසේ වෙතත් මෙම ආලෝක කිරණවල දිශාව (direction) සම්බන්ධ තොරතුරු සටහන් කරගැනීමේ හැකියාවක් ඇත්නම්, ඒ දර්ශනයට අදාළ ත්‍රිමාන ආදර්ශනයක් ප්‍රතිනිර්මාණය කරගන්න පුළුවන් කියන එක විද්‍යාවේ එන කරුණක්. මේ තොරතුරු වලට කියනවා light field information කියලා.

ඉතිං මේ සඳහා කැමරාවට කාච පමණක් නොවේ, සූක්ෂම සංවේදකත්(sensors) උදව් වෙනවා.

ඇත්තටම මෙවැනි ඡායරූපයක් පසුපස තියෙන්නෙ මොහොතකට වඩා කතන්දරයක් (it’s about a story rather than a moment).