මුහුදු වතුර ඇයි නිල් පාට……

මුහුද නිල් පාටයි. ඒක ඉතින් අපි කවුරුත් දැකලා තියෙනවනේ. කොහොමද මේ මුහුදේ වතුරට නිල් පාට ලැබුණේ……

මේක සංසිද්ධි කිහිපයක්ම හේතුකොට ගෙන ඇතිවුණු දෙයක්. ඉන් එකක් තමයි මුහුදු ජලය තුළින් ආලෝකය ගමන් කිරීමේදී සිදුවන ආලෝක වර්තනය හා විසරණය. තවත් හේතුවක් තමයි, මේ ජලයේ දියවෙලා තියෙන Cu2+අයන මගින් නිල් වර්ණය ඇති කිරීම. මේ හැරුණුකොට සොයාගෙන තියෙන තවත් හේතුවක් තමයි, මුහුදු ජලය මගින් සුදු ආලෝකයේ ඇති රතු වර්ණය අවශෝෂණය කරගැනීම.

ඒත් ඇයි මේ විදියට ජලය මගින් සුදු ආලෝකයේ ඇති වර්ණ අවශෝෂණය කරගන්නේ. පහළ රූපයෙන් දැක්වෙන ජල අණුවේ ව්‍යුහයෙන් ඒක පැහැදිළි කරන්න පුළුවන්.

ජල අණුවක තියෙනවා O-H බන්ධන 2 ක්. මේවායේ සිදුවන කම්පන සඳහා ශක්තිය අවශෝෂණය කරගන්නවා. මේ ශක්තිය දෘශ්‍ය වර්ණාවලියේ රතු වර්ණය අඩංගු පරාසයෙන් තමයි අවශෝෂණය කරගන්නේ.

Advertisements

සමනලවැව ජලාශයේ ජල කාන්දුවේ යාන්ත්‍රණය සොයාගෙන !!!

 

සමනලවැව විදුලි බලාගාරය ගැන ඔබ අහලා ඇති. අපේ රටේ තියෙන ප්‍රධානතම ජල විදුලි බලාගාර වලින් එකක්. මේ බලාගාරයේ විදුලිය නිපදවන්න ජලය ලබාගන්නේ සමනලවැව ජලාශයෙන්. සමනලවැව ජලාශයේ පවතිනවා ඉතා විශාල කාන්දුවක්. මේ කාන්දුව නිසා මේකට ලොකු ප්‍රසිද්ධියක් ලැබිලා තියෙනවා.

සමනලවැව ජලාශය

ඉතිං සෑහෙන කාලෙක ඉඳන් මේ කාන්දුවට පිළියම් යොදන්න විවිධාකාර ක්‍රියාමාර්ග ගත්තත් ඒවා සාර්ථක වෙලා නැහැ. නමුත් මේ වනවිට මේ කාන්දුවට බලපාන යාන්ත්‍රණය කුමක්ද කියලා හොයාගන්න, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා පරමාණු බලශක්ති අධිකාරියේ ඉංජිනේරුවන් සහ විද්‍යාඥයින් සමත් වෙලා තියෙනවා.

දැන් අපි මෙහි පසුබිම විමසා බලමු.

සමනලවැව ජලාශය පෝෂණය වෙන්නේ වලවේ ගඟෙන්. මේ ජලාශය ඉදිකරලා තියෙන භූමි ප්‍රදේශය ඉතා සංකීර්ණ භූ ලක්ෂණ සහිත ප්‍රදේශයක්. මේ හේතුවෙන් ඇතිවෙන යම් බලපෑමක් නිසා මේ ජලාශය ඉදිකරලා එහි පළමු වතාවට ජලය පිරෙන්නට සැලැස්වූ, එනම් 1991 කාලයේ පටන්ම මෙහි දකුණු ඉවුරේ මේ කියන ආකාරයේ කාන්දුවක් වර්ධනය වෙලා තියෙනවා.

සමනලවැව ජලාශයේ දකුණු ඉවුරේ ඇති ජල කාන්දුව

මේ සඳහා වහාම පිළියම් යෙදීම අරමුණු කරගෙන, 100m ක් ගැඹුරට යනකන්, 1300m දිගින් යුත් සිමෙන්ති බදාම වලින් කරන ලද තිරයක් (Curtain Grouting) ඉදිකරලා තියෙනවා. ටොන් 14,000 ක බරකින් යුත් වන මෙය ඉදිකරලා තියෙන්නේ කාන්දුව පවතින මාර්ගය අවහිර කිරීමේ අරමුණින්. පළමු වතාවට මේ කරපු වෑයම අසාර්ථක වුණා. මෙහි ප්‍රතිපලය වුනේ, ජලාශයේ මේ කාන්දුව පැවති දකුණු ඉවුරේ නායයාමක් වැනි වූ සෝදායාමක් ඇතිවීම. මෙය කෙතරම්ද කියනවා නම්, පැය කිහිපයක් ඇතුලත ඝන මීටර 25,000ක් පමණ ස්කන්ධයකින් යුක්ත වූ පස්, ගල් ආදිය සේදීයාමකට ලක්වුණා.

නැවතත් මේ කාන්දුවට පිළියමක් යෙදීමට කටයුතු ඇරඹුණා 1998 දී. මෙහි අරමුණ වුණේ “Wet Blanket” එකක් යොදාගෙන අදාළ කාන්දුව සහිත ප්‍රදේශය මුද්‍රා (seal) තැබීම. ඒ වනවිට, කාන්දුවට ප්‍රවේශ කලාපය ලෙස අනුමාන කරගෙන සිටි, ජලාශයේ බැම්මට 1km පමණ ගඟේ ඉහළට වන්නට , මීටර 700ක් පමණ දුරකට යනතෙක්, ප්‍රදේශය තමයි ආවරණය කරන්නට කටයුතු යෙදුනේ. මෙයත් කාන්දුව නවත්වන්න තරම් සාර්ථක වුණේ නැහැ. නමුත් මෙමගින් හැකිවුණා ජලාශයේ දකුණු ඉවුරේ භූගත ජල පීඩනය සැලකියයුතු ප්‍රමාණයකින් අඩුකරන්න. මේ කටයුතු 1999 වර්ෂය වන විට අවසන් වුණා.

ඉන්පසුවත් බ්‍රිතාන්‍ය, ඇමරිකානු, ප්‍රංශ, පාකිස්ථානු වැනි වූ විවිධ තාක්ෂණික විශේෂඥයින් යොදාගෙන වරින්වර මේ ප්‍රදේශය අධ්‍යයනය කෙරුණා. නමුත් මේ කාන්දුවට බලපාන යාන්ත්‍රණය සොයාගන්න මොවුන් සමත් වුණේ නැහැ.

මේ කාන්දුව පවතින භූමියේ ජලාශ්‍රිත භූ විද්‍යාත්මක විශ්ලේෂණ වලින් අනතුරුව, ලංකා විදුලිබල මණ්ඩලයට අනුයුක්තව සේවය කළ සිවිල් ඉංජිනේරු ආචාර්ය කමල් ලක්සිරි මහතා විසින් 2006 වසරේදී පවසා තිබෙනවා, මෙයට සම්බන්ධ  යාන්ත්‍රණය සාර්ථකව සොයාගෙන හෙළිකළ හැකි බව.

ඔහු පවසන පරිදි කාන්දුවට ප්‍රවේශ හැටියට පවතින පැහැදිළි පිවිසුම් මාර්ග, ජලාශය දකුණුපසට යාවූ කොටසේ ජලාශ පතුලට ආසන්නව සොයාගත හැකියි. කලින් මේ කාන්දුව සඳහා පිළියම් ලෙස යෙදූ, ජලාශය ඉහළ ප්‍රදේශ ආශ්‍රිතව කෙරුණු කටයුතු නිශ්ඵල බවත් මේ සොයාගැනීමෙන් ඔප්පු වෙනවා.

මේ ඔස්සේ ගනු ලබන ක්‍රියාමාර්ගයක් විදියට, මේ වසරේ අගෝස්තු මාසයේදී, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ සහායද ඇතිව නැවත අධ්‍යයනයන් ඇරඹුණා. මෙමගින්, සමස්ථානික තාක්ෂණය යොදාගෙන, කාන්දුවට හේතුවන යාන්ත්‍රණය තහවුරු කරගැනීමයි අරමුණ වුණේ.

ආචාර්ය කමල් ලක්සිරි මහතා විසින් සොයාගන්නා ලද ඒ ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකරන ලද නල මාර්ග පද්ධතියක් මගින් I-131 (Iodine 131) සමස්ථානිකය එන්නත් කර, ඉන් අනතුරුව, අනෙක් පසින්, ඒ කියන්නේ ජලාශය බැම්මට පහළින් කාන්දු ද්වාරය ආශ්‍රිතව විශ්ලේෂණය සිදුකෙරුණා. විස්මය දනවන කරුණක් වුණේ, පැය කිහිපයක් ඇතුළත්, කාන්දු ද්වාරයෙන් මේ සමස්ථානික දැකගන්න පුළුවන් වීම. ඉතිං මේ ආකාරයට කාන්දුවට හේතුවන ජල පිවිසුම් මාර්ග සොයගත්තා. මේ තමයි පළමු වතාවට සාක්ෂි සහිතව එවැන්නක් සොයාගත් අවස්ථාව.

දැන් ඉතිරිවෙලා තියෙන්නේ මේ කාන්දුව නවත්වන්න අදාළ ක්‍රියාමාර්ග ගන්න එක. ඒකත් නුදුරු අනාගතයේදීම සිදුවුනොත් සමනලවැව බලාගාරය ජාතික ජාලයට එක්කරන විදුලි බලශක්ති ප්‍රමාණය නිසැකයෙන්ම ඉහළ යනවා.

මේ ලිපියට මූලාශ්‍රය වුණේ, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) මගින් නිකුත් කරන Sri Lanka Engineering News මාසික සඟරාවේ 2011 සැප්තැම්බර් කලාපයේ පලවූ “Mystery of the Samanala Wewa Leakage solved! Local Engineers and Scientists establish the Samanala Wewa Leakage mechanism using isotope technology” ලිපියයි.

Microwave Oven එකක් තුළ සිදුවන ක්‍රියාවලිය

 

20 වන සියවසේ සිදුකෙරුණු ඉතා වැදගත් නිපැයුමක් තමයි Microwave Oven කියන්නේ.  මෙමගින් ඉතා ක්ෂණිකව ආහාර වර්ග පිසගන්න පුළුවන් වගේම විදුලිය අරපිරිමැස්ම අතිනුත් ඉතා ඉහළ තැනකයි ඉන්නේ. Microwave Oven එකක් තුළදී සිදුවන්නේ කුමක්ද කියලා අපි දැන් විමසා බලමු.

Microwave oven එකකින් ආහාර පිසීමේදී රත්වීම සිදුවන්නේ ක්ෂුද්‍ර තරංග (microwaves) මගින්.  ක්ෂුද්‍ර තරංග අයත් වෙන්නෙත් ගුවන් විදුලි තරංග ගනයටමයි. Microwave oven එකක භාවිතා වෙන්නේ 2.5 GHzපරාසයේ ඇති තරංග.

මෙම සංඛ්‍යාත පරාසයේ ඇති තරංගවල ලක්ෂණයක් තමයි, ඒවා ජලය, මේද සහ සීනි මගින් අවශෝෂණය කරගැනීම. මෙසේ අවශෝෂණය කරගත් තරංගවල තියෙන ශක්තිය ඒවායේ පරමාණුක චලිතය බවට පත්වෙනවා. එනම් තාප ශක්තියයි.

මෙම සංඛ්‍යාත පරාසයේ ඇති තරංග බොහොමයක් ප්ලාස්ටික්, වීදුරු හෝ සෙරමික් වර්ග මගින් අවශෝෂණය කරගන්නේ නැහැ. තවද, ලෝහ මගින් මෙම තරංග පරාවර්තනය කරනවා.  ඉතිං මේ ලක්ෂණ නිසා තමයි Microwave oven එකක් තුළදී ආහාර අඩංගු බඳුන් රත් නොවී ආහාරය පමණක් ඉතා ක්ෂණිකව රත්කරගන්න පුළුවන් වෙන්නේ. ලෝහ මෙම තරංග පරාවර්තනය කරන නිසා තමයි, ලෝහ බඳුන්වල දැමූ අහාර මෙමගින් රත්කරගන්න නොහැකි වෙන්නේ.

ඔබ අහලා ඇති Microwave oven එකක ආහාර රත්වීම සිදුවන්නේ ඇතුළත සිට පිටත දක්වා කියලා. (සාමන්‍ය oven එකක් නම් පිටත සිට ඇතුළට තාපය ගලා යා යුතුයි.) නමුත් මෙහිදී ඇත්තටම නම් තාපය ගලායාමක් සිදුවන්න අවශ්‍ය නැහැ. ආහාරය සම්පූර්ණයෙන්ම එකවර රත්වීමකට ලක්වෙනවා. තවදුරටත් විස්තර කරනවානම්, සාමාන්‍ය  oven එකක රත්වීම සිදුවන්නේ සන්නයනය මගින්. එම නිසා තාපය පිටත සිට ඇතුළතට ගලායාමක් සිදුවෙන්න අවශ්‍යයි ආහාරයේ ඇතුළත කොටස් රත්වීමට නම්. නමුත් Microwave oven  එකක නම් ක්ෂුද්‍ර තරංග, ආහාරය තුළින් ගමන් ගෙන එහි වන සංඝටක වලට උරාගෙන එහිදී තාපය බවට හැරී ආහාරය සම්පූර්ණයෙන්ම එකවිට රත්කරනවා.

Bermuda ත්‍රිකෝණය – 2

Bermuda ත්‍රිකෝණය ගැන ලියවුනු පසුගිය ලිපියේ ඉතිරිය මේ ලිපියෙන්…

පසුගිය ලිපියේ පළවුනා Aliens and Atlantis කියන මතය ගැන විස්තර. මේ ලිපියෙන් අනෙකුත් මත ගැන විමසා බලමු.

චුම්බක අසාමාන්‍යතා (Magnetic Abnormalities)

ත්‍රිකෝණය ආසන්න ප්‍රදේශයෙන් ගමන් ගන්නා අවස්ථාවල ගුවන් නියමුවන්ට ඇතැම් විට ඝන මීදුමක්/නොපැහැදිළි බවක් වැනි පාරිසරික ස්වභාව අත්දකින්න ලැබිලා තියෙනවා.  වරක් මේ හා සමාන අත්දැකීමක් ලබපු කෙනෙක් තමයි Bruce Gernon.

නිල් කුහර (Blue Holes)

නිල් කුහර යනුවෙන් හඳුන්වන්නේ ජලය පිරි කුහර/විවර. මේවා දෙවර්ගයක් තියෙනවා. පළමු වර්ගය තමයි inland blue holes කියන්නේ. ඒ කියන්නේ දූපත්වල අභ්‍යන්තර ප්‍රදේශවල භූමියේ පිහිටි කුහර. අනෙක් වර්ගය තමයි marine or ocean blue holes කියන්නේ. මේවා පිහිටලා තියෙන්නේ නොගැඹුරු දියේ හෝ වෙරලාසන්නයේ. මේ රූපයෙන් දැක්වෙන්නේ එවැනි blue hole එකක්.

ඉතිං මේ ත්‍රිකෝණය ආශ්‍රිත ප්‍රදේශයේත් මෙවැනි blue holes පිහිටලා තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒවායේ බලපෑම් නිසා මේ ප්‍රදේශයේ අසාමාන්‍යතා ඇති බවට මත ඉදිරිපත් වෙලා තියෙනවා.

දේශගුණික රටා සහ භූ ලක්ෂණ වල බලපෑම

මේ ප්‍රදේශයේ වරින් වර ඉතා චණ්ඩ වූ ක්ෂණිකව ඇති වී ක්ෂණිකව අවසන් වන කුණාටු සහ නොයෙකුත් කාලගුණික විපර්යාස ඇතිවෙන බව වාර්තා වෙලා තියෙනවා.  මේවා කොතරම් ක්ෂණිකද කියනවානම් පෘතුවි නිරීක්ෂණ චන්ද්‍රිකාවලට පවා හසුවන්නේ නැහැ. මේ විදියට ඇතිවෙන්න පුළුවන් දියසුළි වල චණ්ඩ බව කොතරම්ද කියනවා නම් නැව් පමණක් නොවේ ඒවා tornado විදියට අහසට නැගිලා ගුවන්යානා පවා විනාශ කරන්න පුළුවන්.  මුහුදු පතුලේ ඇතිවන භූමිකම්පා නිසාත් මේ වගේ දේවල් ඇතිවෙන්න පුළුවන්. ක්‍රමයෙන් බෑවුම් වන මහද්වීපික ස්ථර ස්වභාවයේ පටන් ඉතා ගැඹුරු අගල් ආකාරයේ වූ භූමි ප්‍රදේශ වලින් මේ මුහුදු පතුල සමන්විත වෙනවා. මුහුදු පතුලේ ගිලී මෙවන් අගලක රැඳුණු නැවක් වැනි යාත්‍රාවක් නැවත දක්නට නොලැබීම පුදුමයක් නොවන බවයි සඳහන් වෙන්නේ.

Bermuda ත්‍රිකෝණය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ඉතා වේගවත් හා ප්‍රචණ්ඩකාරී දියවැල් පිහිටා ඇති බව සොයාගෙන තියෙනවා. ඇතැම් ඒවා පැයට සැතපුම් 5ක් පමණ වේගයෙන් ඇදී යනවා. මෙවන් දියවැලකට හසුවුණොත් යාත්‍රාවක් විනාශ වෙනවා කියන්නේ අහන්නත් දෙයක්ද ?

Methane Gas Hydrates

Cardiff සරසවියේ විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙනවා මේ ප්‍රදේශයේ මුහුදු පතුලේ අධි සාන්ද්‍ර methane ලෙස වායු එක් රැස් වී ඇති බව. මියගිය මුහුදු ජීවීන්ගේ සිරුරු වියෝජනයට ලක්වීමේ ක්‍රියාවලියේදී අවසාදිතවල තැන්පත් බැක්ටීරියාවල ක්‍රියාකාරීත්වයෙන් මේවා සෑදෙනවා.  මේවා super concentrated methane ice ලෙස තැන්පත් වෙලා තියෙනවා. ඒවා හඳුන්වන්නේ gas hydrates කියලා. එනම්, අයිස් ස්ථරයක් මගින් මෙම වායු රඳවාගෙන සිටිනවා. ඇත්තෙන්ම කියනවා නම් මේවා එක්තරා අකාරයකට ශක්ති ප්‍රභව.

යම් අවස්ථාවක මෙම අයිස් ස්ථරය කැඩීමකට භාජනය වුනොත් (අධික පීඩනය නිසා) ඊට යටින් රැඳී ඇති වායු ක්ෂණයෙන් සාගර මතුපිටට පැමිණෙනවා. මෙවැනි අවස්ථාවක ඒ ප්‍රදේශයේ සාගර මතුපිට ජලය ඉතා අඩු ඝනත්වයක් ගන්නවා. නැවක් වැනි යාත්‍රාවක් ඒ ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබුනොත් එය නිතැතින්ම ගිලීම සිදුවෙනවා. ඒ විතරක් නොවේ, මෙසේ ක්ෂණික වායු විසර්ජනයක් ඇති වීමකදී ගින්නක් වුනත් ඇතිවෙන්න පුළුවන්. එමගින් ඉහළ අහසේ යන ගුවන් යානා පවා විනාශ විය හැකියි.

Bermuda ත්‍රිකෝණය ආශ්‍රිත ප්‍රදේශයේ ක්‍රියාකාරිත්වය ගැන මේ විදියේ නොයෙක් මත පළවුනත් තවමත් මෙයට හරියටම හේතුවක් හොයගෙන නැහැ. එය තවදුරටත් විසඳන්නට ඉතිරි වෙලා තියෙන දෙයක්.

Lytro Light Field කැමරාවක ක්‍රියාකාරීත්වය

 

Lytro Light Field Camera කියන්නේ ඡායාරූපකරණයේ නවතම හඳුන්වාදීමක්. මෙහි ක්‍රියාකාරීත්වයට පාදකවන්නේ අළුත්ම තාක්ෂණයක්. ඒ තමයි Light Field Photography.

සාමන්‍ය කැමරාවකින් ඡායරූපයක් ගැනීමේදී සිදුවන්නේ පළමුව නාභිගත කිරීම සිදුකර ඉන්පසු ජායාරූපය ගැනීමයි. ඒත් මේ කැමරාවෙන් ගන්නා ඡායාරූප අපට අවශ්‍ය පරිදි පසුව නාභිගත කරගන්න පුළුවන්. (“Living Images” that can be infinitely refocused after capture.)

පහළ පින්තූරයෙන් දැක්වෙන්නේ Lytro වෙබ් අඩවියේ මෙවැනි කැමරාවකින් ගත් ඡායරූප පෙන්වා ඇති අකාරයයි.  ඡායරූපයේ ඕනෑම තැනක් මත click කිරීමෙන් එම ස්ථානය නාභිගත කරගන්න (focus) පුළුවන්. double click කිරීමෙන් zoom කරන්න පුළුවන්.

ඔබට මේ කැමරාවකින් ගත් ඡායරූපයක ස්වභාවය බලන්න පුළුවන් මෙන්න මෙතැනින්.

මේ කැමරාවේ ක්‍රියාකාරීත්වය සරලවම පැහැදිළි කරනවනම්, කැමරාවේ කාච මගින් සිදු කරන්නේ එහි දර්ශන පථයට (field of view) හසුවන දෘශ්‍ය ආලෝකය සම්පූර්ණයෙන්ම එක්කාසු (gather) කරගැනීමයි. අපි මේ ඡායාරූප වල දකින සූක්ෂම නාභිගතවීම් (focus) වලට අදාළ ක්‍රියාවලිය සිදුකරනු ලබන්නේ විශේෂ මෘදුකාංගයක් මගිනුයි.

මේ කැමරාවේ අංගෝපාංග ගැන කිව්වොත්, එහි මූලිකවම තියෙන්නේ power button, shutter button සහ zoom range control slider පමණයි. අනෙක් කැමරාවල මෙන් aperture, shutter speed, focus සඳහා වන controllers මෙයට අවශ්‍ය නැහැ.

සාමන්‍ය කැමරාවක සිදුවන්නේ එහි කාචය මත කෙලින්ම (direct) පතිත වන ආලෝක කිරණ නාභිගත කර digital sensor එකක් මත එම තොරතුරු සටහන් කර ගැනීමයි. මේ තොරතුරු ගබඩා කරගනු ලබන්නේ (2D array එකක) වර්ණය සහ තීව්‍රතාව පදනම් කරගෙනයි.

කෙසේ වෙතත් මෙම ආලෝක කිරණවල දිශාව (direction) සම්බන්ධ තොරතුරු සටහන් කරගැනීමේ හැකියාවක් ඇත්නම්, ඒ දර්ශනයට අදාළ ත්‍රිමාන ආදර්ශනයක් ප්‍රතිනිර්මාණය කරගන්න පුළුවන් කියන එක විද්‍යාවේ එන කරුණක්. මේ තොරතුරු වලට කියනවා light field information කියලා.

ඉතිං මේ සඳහා කැමරාවට කාච පමණක් නොවේ, සූක්ෂම සංවේදකත්(sensors) උදව් වෙනවා.

ඇත්තටම මෙවැනි ඡායරූපයක් පසුපස තියෙන්නෙ මොහොතකට වඩා කතන්දරයක් (it’s about a story rather than a moment).