නිල් දත් :-)

Bluetooth – හැම තැනම අහන්න ලැබෙන වචනයක්. ජංගම දුරකථනයේ පටන් laptop එක දක්වා. සරලවම කිව්වොත් මේ වගේ උපකරණ එකිනෙක සම්බන්ධ කරන තාක්ෂණයක්.

Bluetooth කියන්නේ රැහැන් රහිත ස්වයංක්‍රීය සබැඳි ක්‍රමයක්. Bluetooth ගැන කියන්න කලින් අපි බලමු උපකරණ 2ක් අතරේ සම්බන්ධතාවක් ඇතිවෙන්න නම් මූලිකවම සපුරාගත යුතු අවශ්‍යතා මොනවද කියලා.

  1. උපකරණ 2 අතරේ භෞතිකව සබැඳිය ඇති වෙන්නේ කොහොමද කියලා එකඟතාවක් ඇතිවෙන්න ඕන. ඒ කියන්නේ සබැඳිය ඇතිවෙන්නේ වයර් මගින්ද නැත්නම් රැහැන් රහිත ක්‍රමයකින්ද (wireless) කියන එක. වයර් මගින් නම්, වයර් කීයක්ද යන වග (1,2,8,25…).
  2. කොපමණ දත්ත ප්‍රමාණයක් වරකට සම්ප්‍රේෂණය කරනවාද යන්න. උදාහරණයක් ලෙස serial port එක මගින් සම්බන්ධ වෙනවා නම් වරකට 1bit. Parallel port මගින් සම්බන්ධ වෙනවා නම් වරකට bit කිහිපයක්.
  3. Protocol, එහෙමත් නැතිනම්, මේ සම්ප්‍රේෂණය කරන signal වලින් අදහස් කරන්නේ මොකක්ද කියන එක. මෙහෙම එකඟතාවයක් ඇති වුනේ නැතිනම් පණිවුඩය යවන්නා අදහස් කරන දේ නෙමෙයි පණිවුඩය ලබන්නා ග්‍රහණය කරගන්නේ.

ඉතිං මම කලින් සඳහන් කළානේ Bluetooth කියන්නේ ස්වයංක්‍රීය සබැඳි ක්‍රමයක් කියලා. ඒ කියන්නේ මේ එකඟතාවයන් උපකරණ 2 අතරේ ඇතිකරගන්න තවත් පාර්ශවයක් මැදිහත් වෙන්න ඕන නැහැ.

Bluetooth 1.0 තාක්ෂණයට අනුව දත්ත සම්ප්‍රේෂණය කළ හැකි උපරිම වේගය 1Mbps ක්. Bluetooth 2.0 තාක්ෂණයට අනුව එය 3Mbps දක්වා වෙනවා. Bluetooth වලදී දත්ත සම්ප්‍රේෂණය සිදුවන්නේ ගුවන් විදුලි තරංග උපයෝගී කරගෙන. සාමාන්‍යයෙන් 2.402 GHz සහ 2.480 GHz අතර පරාසයේ.

Bluetooth තාක්ෂණය දියුණු කරලා තියෙන්නේ, මේ සංඛ්‍යාත පරාසයේ පවතින තරංග භාවිතා වන අනෙකුත් උපකරණ වල ක්‍රියාකාරිත්වයට බාධා ඇති නොවන ආකාරයකට භාවිතා කරන්න පුළුවන් වෙන්න. ඒ කොහොමද කියලා කියනවානම්, Bluetooth කියන්නේ 1mW ක් වගේ ඉතා අඩු ක්ෂමතාවක් තියෙන signal වර්ගයක්. මෙවැනි අඩු අගයක ක්ෂමතාවක් පවතින නිසා signal යවන්න පුළුවන් පරාසය සාමාන්‍යයෙන් 10m (අඩි 32 ) පමණ තමයි වෙන්නේ.  බිත්ති වගේ දේවල් හරහා වුනත් Bluetooth මගින් දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන් .

Bluetooth තාක්ෂණයේදී එකවර උපකරණ 8ක් දක්වා සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන්.

ඔබට හිතෙන්නේ නැද්ද මෙහෙම ගැටළුවක් ඇති වෙයි කියලා. අපි හිතමු උපකරණ 2ක් (A සහ B කියලා) අතරේ  දත්ත සම්ප්‍රේෂණය වෙනවා. මින් එකකට (A ට)  10m කට වඩා අඩු දුරක තියෙන තවත් උපකරණයක් (C) වෙනත් උපකරණයක් (D) එක්ක  සම්බන්ධ වෙලා දත්ත සම්ප්‍රේෂණය කරන්න පටන් ගන්නවා. මේ වෙලාවෙදී අපි අර මුලින් කියපු A කියන උපකරණය C මගින් සම්ප්‍රේෂණය කරන දත්ත ලබාගත්තොත් !!! මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද?

Bluetooth තාක්ෂණයේදී මේ වගේ ගැටළු ඇති වෙන්නේ නැහැ. හේතුව තමයි spread-spectrum frequency hopping කියලා තාක්ෂණික ක්‍රමයක් එහි භාවිතා වීම.

මේ ක්‍රමය විස්තර වශයෙන් කියනවානම් මෙහෙමයි. මේ ක්‍රමයේදී උපකරණයක් දත්ත සම්ප්‍රේෂණය කරන්නේ විවිධ සංඛ්‍යාත (Bluetooth වල පරාසයේ තියෙන) 79 ක් අතරින් අහඹු ලෙස තොරාගත් එක් සංඛ්‍යාතයකින්. තවදුරටත්, මෙසේ සම්ප්‍රේෂණය කරන උපකරණයක් තත්පරයකට වාර 1600ක් තම සම්ප්‍රේෂණ සංඛ්‍යාතය වෙනස් කරනවා. මේ නිසා උපකරණ විශාල සංඛ්‍යාවකට මේ සංඛ්‍යාත පරාසයේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතිං ඉතාමත් කලාතුරකින් තමයි උපකරණ 2ක් එකම සංඛ්‍යාතයම තෝරා ගැනීමක් සිදුවන්නේ. ඒ සම්භාවිතාව නොගිනිය හැකි තරම්. ඒ වගේම තමයි තත්පරයකට වාර 1600ක් සංඛ්‍යාත වෙනස්වීම සිදුවෙන නිසා එක් උපකරණයකින් තවත් උපකරණයක සම්ප්‍රේෂණයට බාධාවක් ඇතිවුනත් එය පවතින්නේ තත්පරයකින් 1600කින් පංගුවක් වගේ ඉතා කුඩා කාල පරාසයක් තුළදීයි.

උපකරණ 2ක් එකිනෙකාගේ පරාසය (10m) තුළ තියෙනකොට මේ උපකරණ 2 අතර ස්වයංක්‍රීය ලෙස විද්‍යුත් සන්නිවේදන (electronic conversation) ක්‍රියාවලියක් හටගන්නවා. එසේ සිදුවන්නේ එම උපකරණ 2 අතරේ සම්බන්ධතාවක් ඇතිවෙන්න අවශ්‍යද කියන එක තීරණය කරගන්න. මේ තහවුරු කරගැනීමෙන් අනතුරුව උපකරණ අතරේ piconet (PAN – Personal Area Network) එකක් පිහිටුවා ගන්නවා. මේ piconet එක පිහිටුවා ගැනීමෙන් අනතුරුව උපකරණ 2 අතර එකඟ වූ සංඛ්‍යාතයක් අහඹු ලෙස තෝරාගෙන සන්නිවේදනය සිදුකෙරෙනවා.

Security ගැන කිව්වොත්…..

Bluetooth කියන්නෙත් රැහැන් රහිත ක්‍රමයක්. ඒ විතරක් නෙමෙයි උපකරණ ස්වයංක්‍රීයව සම්බන්ධ වෙනවා. ඉතිං මෙසේ සම්ප්‍රේෂණය කරන දේවල් මගදි අල්ලා ගන්න එක (intercept) හරි ලේසියි. ඉතිං ආරක්ෂාව සඳහා ක්‍රියාමාර්ග ගන්නම් ඕන.

එක ක්‍රමයක් තමයි Trusted devices එක්ක විතරක් සම්බන්ධ වෙන එක. මේ ක්‍රමයෙදී උපකරණයක් කෙලින්ම තවත් උපකරණයක් එක්ක සම්බන්ධ වෙන්නේ userගෙන් අවසර ගත්තායින් පස්සෙ තමයි. Bluetooth ආපු මුල් කාලේ ජංගම දුරකථන වෛරස් පතුරුවන අය මේ ස්වයංක්‍රීය සබැඳි ක්‍රමයෙන් අයුතු ප්‍රයෝජන අරගෙන තියෙනවා. නමුත් දැන් ඒවායේ security ඉහළ මට්ටමක තියෙනවා.

Bluejacking සහ Bluebugging කියන්නේ Bluetooth උපකරණ සම්බන්ධ ගැටළු. Bluejacking වලදී Bluetooth උපකරණයක් මගින් business card එකක් වැනි message එකක් ජංගම දුරකථනයකට යවනවා. මෙහිදී යම්කිසි විදියකින් message එක ලබාගන්න ජංගම දුරකථනය ඒ contact එක add කරගත්තොත්, නැවත ඒ contact එකෙන් message එකක් ලැබුනොත් එය known contact එකක් හැටියට සලකලා message accept කරන්න ඉඩකඩ වැඩියි. ඉතිං මේ විදියට දෙවෙනියට එවන message එක ඇතැම් විට හානිකර ආකාරයේ එකක් වෙන්න ඉඩ තියෙනවා. Bluebugging කියන්නේ ජංගම දුරකථනයකට දුරස්ථව ප්‍රවේශ වෙලා එයින් නොයෙකුත් ආකාරයේ messages, phone calls යැවීම.

ඕනෑම තාක්ෂණයක් දියුණු වෙනකොට ඉන් අයුතු ප්‍රයෝජන ගන්නත් පිරිසක් බලාගෙන ඉන්නවා. මේ නිසයි security කියන එක මේ තරම් වැදගත් වෙලා තියෙන්නේ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )