සමනලවැව ජලාශයේ ජල කාන්දුවේ යාන්ත්‍රණය සොයාගෙන !!!

 

සමනලවැව විදුලි බලාගාරය ගැන ඔබ අහලා ඇති. අපේ රටේ තියෙන ප්‍රධානතම ජල විදුලි බලාගාර වලින් එකක්. මේ බලාගාරයේ විදුලිය නිපදවන්න ජලය ලබාගන්නේ සමනලවැව ජලාශයෙන්. සමනලවැව ජලාශයේ පවතිනවා ඉතා විශාල කාන්දුවක්. මේ කාන්දුව නිසා මේකට ලොකු ප්‍රසිද්ධියක් ලැබිලා තියෙනවා.

සමනලවැව ජලාශය

ඉතිං සෑහෙන කාලෙක ඉඳන් මේ කාන්දුවට පිළියම් යොදන්න විවිධාකාර ක්‍රියාමාර්ග ගත්තත් ඒවා සාර්ථක වෙලා නැහැ. නමුත් මේ වනවිට මේ කාන්දුවට බලපාන යාන්ත්‍රණය කුමක්ද කියලා හොයාගන්න, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා පරමාණු බලශක්ති අධිකාරියේ ඉංජිනේරුවන් සහ විද්‍යාඥයින් සමත් වෙලා තියෙනවා.

දැන් අපි මෙහි පසුබිම විමසා බලමු.

සමනලවැව ජලාශය පෝෂණය වෙන්නේ වලවේ ගඟෙන්. මේ ජලාශය ඉදිකරලා තියෙන භූමි ප්‍රදේශය ඉතා සංකීර්ණ භූ ලක්ෂණ සහිත ප්‍රදේශයක්. මේ හේතුවෙන් ඇතිවෙන යම් බලපෑමක් නිසා මේ ජලාශය ඉදිකරලා එහි පළමු වතාවට ජලය පිරෙන්නට සැලැස්වූ, එනම් 1991 කාලයේ පටන්ම මෙහි දකුණු ඉවුරේ මේ කියන ආකාරයේ කාන්දුවක් වර්ධනය වෙලා තියෙනවා.

සමනලවැව ජලාශයේ දකුණු ඉවුරේ ඇති ජල කාන්දුව

මේ සඳහා වහාම පිළියම් යෙදීම අරමුණු කරගෙන, 100m ක් ගැඹුරට යනකන්, 1300m දිගින් යුත් සිමෙන්ති බදාම වලින් කරන ලද තිරයක් (Curtain Grouting) ඉදිකරලා තියෙනවා. ටොන් 14,000 ක බරකින් යුත් වන මෙය ඉදිකරලා තියෙන්නේ කාන්දුව පවතින මාර්ගය අවහිර කිරීමේ අරමුණින්. පළමු වතාවට මේ කරපු වෑයම අසාර්ථක වුණා. මෙහි ප්‍රතිපලය වුනේ, ජලාශයේ මේ කාන්දුව පැවති දකුණු ඉවුරේ නායයාමක් වැනි වූ සෝදායාමක් ඇතිවීම. මෙය කෙතරම්ද කියනවා නම්, පැය කිහිපයක් ඇතුලත ඝන මීටර 25,000ක් පමණ ස්කන්ධයකින් යුක්ත වූ පස්, ගල් ආදිය සේදීයාමකට ලක්වුණා.

නැවතත් මේ කාන්දුවට පිළියමක් යෙදීමට කටයුතු ඇරඹුණා 1998 දී. මෙහි අරමුණ වුණේ “Wet Blanket” එකක් යොදාගෙන අදාළ කාන්දුව සහිත ප්‍රදේශය මුද්‍රා (seal) තැබීම. ඒ වනවිට, කාන්දුවට ප්‍රවේශ කලාපය ලෙස අනුමාන කරගෙන සිටි, ජලාශයේ බැම්මට 1km පමණ ගඟේ ඉහළට වන්නට , මීටර 700ක් පමණ දුරකට යනතෙක්, ප්‍රදේශය තමයි ආවරණය කරන්නට කටයුතු යෙදුනේ. මෙයත් කාන්දුව නවත්වන්න තරම් සාර්ථක වුණේ නැහැ. නමුත් මෙමගින් හැකිවුණා ජලාශයේ දකුණු ඉවුරේ භූගත ජල පීඩනය සැලකියයුතු ප්‍රමාණයකින් අඩුකරන්න. මේ කටයුතු 1999 වර්ෂය වන විට අවසන් වුණා.

ඉන්පසුවත් බ්‍රිතාන්‍ය, ඇමරිකානු, ප්‍රංශ, පාකිස්ථානු වැනි වූ විවිධ තාක්ෂණික විශේෂඥයින් යොදාගෙන වරින්වර මේ ප්‍රදේශය අධ්‍යයනය කෙරුණා. නමුත් මේ කාන්දුවට බලපාන යාන්ත්‍රණය සොයාගන්න මොවුන් සමත් වුණේ නැහැ.

මේ කාන්දුව පවතින භූමියේ ජලාශ්‍රිත භූ විද්‍යාත්මක විශ්ලේෂණ වලින් අනතුරුව, ලංකා විදුලිබල මණ්ඩලයට අනුයුක්තව සේවය කළ සිවිල් ඉංජිනේරු ආචාර්ය කමල් ලක්සිරි මහතා විසින් 2006 වසරේදී පවසා තිබෙනවා, මෙයට සම්බන්ධ  යාන්ත්‍රණය සාර්ථකව සොයාගෙන හෙළිකළ හැකි බව.

ඔහු පවසන පරිදි කාන්දුවට ප්‍රවේශ හැටියට පවතින පැහැදිළි පිවිසුම් මාර්ග, ජලාශය දකුණුපසට යාවූ කොටසේ ජලාශ පතුලට ආසන්නව සොයාගත හැකියි. කලින් මේ කාන්දුව සඳහා පිළියම් ලෙස යෙදූ, ජලාශය ඉහළ ප්‍රදේශ ආශ්‍රිතව කෙරුණු කටයුතු නිශ්ඵල බවත් මේ සොයාගැනීමෙන් ඔප්පු වෙනවා.

මේ ඔස්සේ ගනු ලබන ක්‍රියාමාර්ගයක් විදියට, මේ වසරේ අගෝස්තු මාසයේදී, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ සහායද ඇතිව නැවත අධ්‍යයනයන් ඇරඹුණා. මෙමගින්, සමස්ථානික තාක්ෂණය යොදාගෙන, කාන්දුවට හේතුවන යාන්ත්‍රණය තහවුරු කරගැනීමයි අරමුණ වුණේ.

ආචාර්ය කමල් ලක්සිරි මහතා විසින් සොයාගන්නා ලද ඒ ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකරන ලද නල මාර්ග පද්ධතියක් මගින් I-131 (Iodine 131) සමස්ථානිකය එන්නත් කර, ඉන් අනතුරුව, අනෙක් පසින්, ඒ කියන්නේ ජලාශය බැම්මට පහළින් කාන්දු ද්වාරය ආශ්‍රිතව විශ්ලේෂණය සිදුකෙරුණා. විස්මය දනවන කරුණක් වුණේ, පැය කිහිපයක් ඇතුළත්, කාන්දු ද්වාරයෙන් මේ සමස්ථානික දැකගන්න පුළුවන් වීම. ඉතිං මේ ආකාරයට කාන්දුවට හේතුවන ජල පිවිසුම් මාර්ග සොයගත්තා. මේ තමයි පළමු වතාවට සාක්ෂි සහිතව එවැන්නක් සොයාගත් අවස්ථාව.

දැන් ඉතිරිවෙලා තියෙන්නේ මේ කාන්දුව නවත්වන්න අදාළ ක්‍රියාමාර්ග ගන්න එක. ඒකත් නුදුරු අනාගතයේදීම සිදුවුනොත් සමනලවැව බලාගාරය ජාතික ජාලයට එක්කරන විදුලි බලශක්ති ප්‍රමාණය නිසැකයෙන්ම ඉහළ යනවා.

මේ ලිපියට මූලාශ්‍රය වුණේ, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) මගින් නිකුත් කරන Sri Lanka Engineering News මාසික සඟරාවේ 2011 සැප්තැම්බර් කලාපයේ පලවූ “Mystery of the Samanala Wewa Leakage solved! Local Engineers and Scientists establish the Samanala Wewa Leakage mechanism using isotope technology” ලිපියයි.

නිල් දත් :-)

Bluetooth – හැම තැනම අහන්න ලැබෙන වචනයක්. ජංගම දුරකථනයේ පටන් laptop එක දක්වා. සරලවම කිව්වොත් මේ වගේ උපකරණ එකිනෙක සම්බන්ධ කරන තාක්ෂණයක්.

Bluetooth කියන්නේ රැහැන් රහිත ස්වයංක්‍රීය සබැඳි ක්‍රමයක්. Bluetooth ගැන කියන්න කලින් අපි බලමු උපකරණ 2ක් අතරේ සම්බන්ධතාවක් ඇතිවෙන්න නම් මූලිකවම සපුරාගත යුතු අවශ්‍යතා මොනවද කියලා.

  1. උපකරණ 2 අතරේ භෞතිකව සබැඳිය ඇති වෙන්නේ කොහොමද කියලා එකඟතාවක් ඇතිවෙන්න ඕන. ඒ කියන්නේ සබැඳිය ඇතිවෙන්නේ වයර් මගින්ද නැත්නම් රැහැන් රහිත ක්‍රමයකින්ද (wireless) කියන එක. වයර් මගින් නම්, වයර් කීයක්ද යන වග (1,2,8,25…).
  2. කොපමණ දත්ත ප්‍රමාණයක් වරකට සම්ප්‍රේෂණය කරනවාද යන්න. උදාහරණයක් ලෙස serial port එක මගින් සම්බන්ධ වෙනවා නම් වරකට 1bit. Parallel port මගින් සම්බන්ධ වෙනවා නම් වරකට bit කිහිපයක්.
  3. Protocol, එහෙමත් නැතිනම්, මේ සම්ප්‍රේෂණය කරන signal වලින් අදහස් කරන්නේ මොකක්ද කියන එක. මෙහෙම එකඟතාවයක් ඇති වුනේ නැතිනම් පණිවුඩය යවන්නා අදහස් කරන දේ නෙමෙයි පණිවුඩය ලබන්නා ග්‍රහණය කරගන්නේ.

ඉතිං මම කලින් සඳහන් කළානේ Bluetooth කියන්නේ ස්වයංක්‍රීය සබැඳි ක්‍රමයක් කියලා. ඒ කියන්නේ මේ එකඟතාවයන් උපකරණ 2 අතරේ ඇතිකරගන්න තවත් පාර්ශවයක් මැදිහත් වෙන්න ඕන නැහැ.

Bluetooth 1.0 තාක්ෂණයට අනුව දත්ත සම්ප්‍රේෂණය කළ හැකි උපරිම වේගය 1Mbps ක්. Bluetooth 2.0 තාක්ෂණයට අනුව එය 3Mbps දක්වා වෙනවා. Bluetooth වලදී දත්ත සම්ප්‍රේෂණය සිදුවන්නේ ගුවන් විදුලි තරංග උපයෝගී කරගෙන. සාමාන්‍යයෙන් 2.402 GHz සහ 2.480 GHz අතර පරාසයේ.

Bluetooth තාක්ෂණය දියුණු කරලා තියෙන්නේ, මේ සංඛ්‍යාත පරාසයේ පවතින තරංග භාවිතා වන අනෙකුත් උපකරණ වල ක්‍රියාකාරිත්වයට බාධා ඇති නොවන ආකාරයකට භාවිතා කරන්න පුළුවන් වෙන්න. ඒ කොහොමද කියලා කියනවානම්, Bluetooth කියන්නේ 1mW ක් වගේ ඉතා අඩු ක්ෂමතාවක් තියෙන signal වර්ගයක්. මෙවැනි අඩු අගයක ක්ෂමතාවක් පවතින නිසා signal යවන්න පුළුවන් පරාසය සාමාන්‍යයෙන් 10m (අඩි 32 ) පමණ තමයි වෙන්නේ.  බිත්ති වගේ දේවල් හරහා වුනත් Bluetooth මගින් දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන් .

Bluetooth තාක්ෂණයේදී එකවර උපකරණ 8ක් දක්වා සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන්.

ඔබට හිතෙන්නේ නැද්ද මෙහෙම ගැටළුවක් ඇති වෙයි කියලා. අපි හිතමු උපකරණ 2ක් (A සහ B කියලා) අතරේ  දත්ත සම්ප්‍රේෂණය වෙනවා. මින් එකකට (A ට)  10m කට වඩා අඩු දුරක තියෙන තවත් උපකරණයක් (C) වෙනත් උපකරණයක් (D) එක්ක  සම්බන්ධ වෙලා දත්ත සම්ප්‍රේෂණය කරන්න පටන් ගන්නවා. මේ වෙලාවෙදී අපි අර මුලින් කියපු A කියන උපකරණය C මගින් සම්ප්‍රේෂණය කරන දත්ත ලබාගත්තොත් !!! මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද?

Bluetooth තාක්ෂණයේදී මේ වගේ ගැටළු ඇති වෙන්නේ නැහැ. හේතුව තමයි spread-spectrum frequency hopping කියලා තාක්ෂණික ක්‍රමයක් එහි භාවිතා වීම.

මේ ක්‍රමය විස්තර වශයෙන් කියනවානම් මෙහෙමයි. මේ ක්‍රමයේදී උපකරණයක් දත්ත සම්ප්‍රේෂණය කරන්නේ විවිධ සංඛ්‍යාත (Bluetooth වල පරාසයේ තියෙන) 79 ක් අතරින් අහඹු ලෙස තොරාගත් එක් සංඛ්‍යාතයකින්. තවදුරටත්, මෙසේ සම්ප්‍රේෂණය කරන උපකරණයක් තත්පරයකට වාර 1600ක් තම සම්ප්‍රේෂණ සංඛ්‍යාතය වෙනස් කරනවා. මේ නිසා උපකරණ විශාල සංඛ්‍යාවකට මේ සංඛ්‍යාත පරාසයේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතිං ඉතාමත් කලාතුරකින් තමයි උපකරණ 2ක් එකම සංඛ්‍යාතයම තෝරා ගැනීමක් සිදුවන්නේ. ඒ සම්භාවිතාව නොගිනිය හැකි තරම්. ඒ වගේම තමයි තත්පරයකට වාර 1600ක් සංඛ්‍යාත වෙනස්වීම සිදුවෙන නිසා එක් උපකරණයකින් තවත් උපකරණයක සම්ප්‍රේෂණයට බාධාවක් ඇතිවුනත් එය පවතින්නේ තත්පරයකින් 1600කින් පංගුවක් වගේ ඉතා කුඩා කාල පරාසයක් තුළදීයි.

උපකරණ 2ක් එකිනෙකාගේ පරාසය (10m) තුළ තියෙනකොට මේ උපකරණ 2 අතර ස්වයංක්‍රීය ලෙස විද්‍යුත් සන්නිවේදන (electronic conversation) ක්‍රියාවලියක් හටගන්නවා. එසේ සිදුවන්නේ එම උපකරණ 2 අතරේ සම්බන්ධතාවක් ඇතිවෙන්න අවශ්‍යද කියන එක තීරණය කරගන්න. මේ තහවුරු කරගැනීමෙන් අනතුරුව උපකරණ අතරේ piconet (PAN – Personal Area Network) එකක් පිහිටුවා ගන්නවා. මේ piconet එක පිහිටුවා ගැනීමෙන් අනතුරුව උපකරණ 2 අතර එකඟ වූ සංඛ්‍යාතයක් අහඹු ලෙස තෝරාගෙන සන්නිවේදනය සිදුකෙරෙනවා.

Security ගැන කිව්වොත්…..

Bluetooth කියන්නෙත් රැහැන් රහිත ක්‍රමයක්. ඒ විතරක් නෙමෙයි උපකරණ ස්වයංක්‍රීයව සම්බන්ධ වෙනවා. ඉතිං මෙසේ සම්ප්‍රේෂණය කරන දේවල් මගදි අල්ලා ගන්න එක (intercept) හරි ලේසියි. ඉතිං ආරක්ෂාව සඳහා ක්‍රියාමාර්ග ගන්නම් ඕන.

එක ක්‍රමයක් තමයි Trusted devices එක්ක විතරක් සම්බන්ධ වෙන එක. මේ ක්‍රමයෙදී උපකරණයක් කෙලින්ම තවත් උපකරණයක් එක්ක සම්බන්ධ වෙන්නේ userගෙන් අවසර ගත්තායින් පස්සෙ තමයි. Bluetooth ආපු මුල් කාලේ ජංගම දුරකථන වෛරස් පතුරුවන අය මේ ස්වයංක්‍රීය සබැඳි ක්‍රමයෙන් අයුතු ප්‍රයෝජන අරගෙන තියෙනවා. නමුත් දැන් ඒවායේ security ඉහළ මට්ටමක තියෙනවා.

Bluejacking සහ Bluebugging කියන්නේ Bluetooth උපකරණ සම්බන්ධ ගැටළු. Bluejacking වලදී Bluetooth උපකරණයක් මගින් business card එකක් වැනි message එකක් ජංගම දුරකථනයකට යවනවා. මෙහිදී යම්කිසි විදියකින් message එක ලබාගන්න ජංගම දුරකථනය ඒ contact එක add කරගත්තොත්, නැවත ඒ contact එකෙන් message එකක් ලැබුනොත් එය known contact එකක් හැටියට සලකලා message accept කරන්න ඉඩකඩ වැඩියි. ඉතිං මේ විදියට දෙවෙනියට එවන message එක ඇතැම් විට හානිකර ආකාරයේ එකක් වෙන්න ඉඩ තියෙනවා. Bluebugging කියන්නේ ජංගම දුරකථනයකට දුරස්ථව ප්‍රවේශ වෙලා එයින් නොයෙකුත් ආකාරයේ messages, phone calls යැවීම.

ඕනෑම තාක්ෂණයක් දියුණු වෙනකොට ඉන් අයුතු ප්‍රයෝජන ගන්නත් පිරිසක් බලාගෙන ඉන්නවා. මේ නිසයි security කියන එක මේ තරම් වැදගත් වෙලා තියෙන්නේ.

Cloud Computing ගැන තව දුරටත්…..

 

පසුගිය ලිපියෙන් අපි කතාකළා cloud computing කියන්නේ මොනවගේ දෙයක්ද කියන එක. මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ එහි ඇති වාසි අවාසි ගැන විමසා බලන්න.

Cloud එකක  host කරන්න පුළුවන් application වර්ග මෙතෙකැයි කියලා සීමා කරන්න බැහැ. නියමාකාරයෙන් middle-ware තියෙනවානම් ඉතා සංකීර්ණ applications පවා host කරන්න පුළුවන්.

යම් ආයතනයක් cloud computing system එකක් භාවිතා කිරීමෙන් එයාලාට ලැබෙන වාසි මොන වගේද කියලා අපි දැන් විමසා බලමු.

cloud එකක applications host කරලා තියෙනකොට අන්තර්ජාලය හරහා ලෝකයේ ඔනෑම තැනක ඉඳන් ඒ application වලට ප්‍රවේශ වෙන්න පුළුවන්. ඉතිං resources එක් පරිගණකයකට දෙකකට සීමා වෙලා නැහැ.

ඒ වගේම තමයි hardware සඳහා යන වියදම අවම කරගන්නත් පුළුවන්. Client side එකේ තියෙන පරිගණකවලට ඉහළ දත්ත සැකසුම් හැකියාවක්වත්, දත්ත ගබඩා කර තබාගැනීමේ ඉහළ හැකියාවක්වත්, ඉහළ memory එකක්වත් තියෙන්න උවමනා නැහැ. මොකද, cloud side එක ඒ සියල්ල ගැන වග බලාගන්න නිසා.

ඒ වගේම තමයි client side එකේ පරිගණකයක් භාවිතා කරලා යම් කිසි කාර්යයක් කරගන්න අදාළ මෘදුකාංග එහි ස්ථාපනය කරලා තිබීම අවශ්‍ය වෙන්නෙත් නැහැ.ඒ නිසා license සම්බන්ධ ගැටළුත් අවමයි.

Cloud Computing සම්බන්ධව දැනට පවතින ගැටළු

සම්බන්ධව දැනට පවතින ගැටළු තමයි සුරක්ෂිත බව (security) සහ පෞද්ගලිකභාවය (privacy) පිළිබඳ ගැටළු.

යම් ආයතනයක් විසින් වෙනත් සමාගමක් යටතේ පවත්වාගෙන යන cloud system එකක භාවිතා කරනකොට තම ආයතනය සතු තොරතුරු අදාළ cloud system එකට හෙළි කරන්න වෙනවා. මෙය තරමක් ගැටළු සහගත තත්වයක්.

අනෙක් අතට, යම් කිසි කෙනෙකු සතු තොරතුරු වලට ආරක්ෂාවක් ලබාදී තියෙන්නේ ඒ පුද්ගලයාගේ username සහ password මගින් පමණයි. ඉතින් username, password වෙනත් අයෙකු අතට පත්වුණොත් අර තොරතුරු ඕනෑම එකක් ලබාගන්න පුළුවන්.

නමුත් cloud computing කියන්නේ ඉතා සකසුරුවම් අයුරින් සම්පත් පරිහරණය කරන්න සැකසුන තාක්ෂණයක්. ඉතිං ඉදිරියට මේ තියෙන ගැටළු වලට විසඳුම් සොයාගනීවි.